Monday, April 2, 2012

මීළඟ කන්නයේදී රටේ නිපදවිය හැකි කිසිම කෘෂි බීජයක් රටින් ගේන්නේ නෑ

- ඇමැති මහින්ද යාපා අබේවර්ධන

සමන්මලී ප්‍රියශාන්ති

ඊළඟ කන්නය වන විට කිසිම බීජ වර්ගයක් පිටරටින් ගෙන එන්නේ නැතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා අවධාරණය කරයි.

අපට අවශ්‍ය බීජ අපේ රටේදීම සපයා ගැනීමට හැකියාව තිබෙන බැවින් බීජ වර්ග පිටරටින් ගෙන ඒමේ කිසිම අවශ්‍යතාවයක් නැතැයිද ඒ මහතා ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ 2012 වර්ෂයේ අතිරේක ආහාර බෝග නිෂ්පාදනය කඩිනම් කිරීමේ වැඩසටහන පිළිබඳව සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කිරීම සඳහා පදනම් ආයතනයේ දී පැවැති වැඩමුළුවක් අමතමිනි.

නිෂ්පාදනය කළ හැකි කෘෂි නිෂ්පාදන සියල්ල නිෂ්පාදනය කිරීමේ වගකීම සියලු ම දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැවරෙන බවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිසිම විටෙක පමා නොකරන බවත් ඇමැතිවරයා මෙහිදී කීවේය.

අබේවර්ධන මහතා මෙසේද පැවසීය.

මේ වසරේ දී අතිරේක බෝග වගා වර්ධනය කිරීම සඳහා අපි විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. අපි මෙවර පළාත් සභාවත් සමඟ ඒකාබද්ධව මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට කටයුතු කළා. දිස්ත්‍රික්ක මෙහෙයවන නායකයන් ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී වැඩි වගකීමක් පැවරෙනවා. දිස්ත්‍රික්කයේ ගැටලු, පසේ ස්වභාවය මෙන්ම වගා කළ හැකි බෝග පිළිබඳව වැඩි දැනුමක් ඇත්තේ දිස්ත්‍රික් ලේකම්වරුන්ටයි. අපි ඒ ගැටලු දැන ගන්නේ බොහෝ වෙලාවට ගොවීන් පාරට බැහැලා උද්ඝෝෂණ කරන විටයි. ඒ නිසා ගොවීන් හා අමාත්‍යාංශය අතර සහසම්බන්ධයක් ගොඩනැගීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා අපි යෝජනා කර තිබෙනවා.

මීට අමතරව ඖෂධීය ගුණයෙන් යුතු වී වර්ග වගා කිරීමට අපි කටයුතු කළ යුතුයි. එම වී වර්ගවලට විශාල ඉල්ලුමක් තිබෙනවා. අද තරුණ ළමයින් අතර අමාශයේ මේද තැන්පත් වීමේ රෝගය බහුලව තිබෙනවා. ඒ අයට ඉංග්‍රිසි බෙහෙත් නැහැ. හීනටි හාලේ කැඳ, හීන් බෝවිටියා කැඳ, යකි නාරන් ආදියෙන් ඒ රෝගය සුව කරන්න සිංහල බෙහෙතට පුළුවන්. මේ නිසා ඖෂධීය ගුණයෙන් යුතු වී වර්ග වගා කළ යුතුයි.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ වර්ධනයට අවශ්‍ය තරම් ප්‍රතිපාදන අපට ලබා ගත හැකියි. ජනාධිපතිතුමා කිසිම විටෙක මේ ක්ෂේත්‍රයට මුදල් වෙන් කිරීම අඩු කර නැහැ.

මේ වසරේ ක්‍රියාත්මක කරන අතිරේක බෝග වගා කිරීමේ වැඩ පිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලු දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතුයි.

මේ අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. සකලසූරිය මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.


http://www.dinamina.lk/2012/04/02/_art.asp?fn=p1204026

No comments:

Post a Comment