Tuesday, April 10, 2012

පරිභෝජනයට නුසුදුසු ආහාර කි. ග්‍රෑ. 28,000ක් දින දෙකකදී වටලයි

ගයාත්‍රි ගීගනආරචිචි

උත්සව සමයේ වෙළෙඳ‍පොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු අත්‍යවශ්‍ය ආහාර කිලෝ ග්‍රෑම් විසිඅට දහසකට අධික තොගයක් දින 2ක් තුළදී වැටලීමට පාරිභෝගික කටයුතු අධිකාරිය සමත් වී තිබේ. සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත ඉකුත් 7 සහ 8 යන දෙදින තුළ කොළඹ පිටකොටුව හා කොටහේන යන ප්‍රදේශවල කරන ලද වැටලීම්වලදී මෙම ආහාර තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ඉකුත් 7 දා පිටකොටුව පස්වන හරස්වීදියේ කරන ලද වැටලීමකදී කල් ඉකුත් වූ සහල් කිලෝ ග්‍රෑම් 7980ක්ද පරණ යොන්වීදියේ කරන ලද වැටලීමකදී කල් ඉකුත් වූ පරිප්පු කිලෝ ග්‍රෑම් 5300ක් හා සියඹලා කිලෝ ග්‍රෑම් 25 බැගින් වූ මිටි 30ක් ද සොයා ගෙන ඇත.

කොටහේන තොග ගබඩා 2ක පෙරේදා (08) කරන ලද වැටලීමකදී කල් ඉකුත් වූ තවත් පරිප්පු කිලෝග්‍රෑම් 2600ක්, අල කිලෝ ග්‍රෑම් 4870 ක්, සහ නරක් වූ රුලං කිලෝ ග්‍රෑම් 6850ක්ද සොයා ගෙන තිබේ.
මහා පරිමාණ ව්‍යාපාරික ස්ථානයක තිබි අත්අඩංගුවට ගැනුණු සහල් තොගයේ ඇසුරුමෙහි පිටත සඳහන් වූ කල් ඉකුත් වීමේ දිනය වෙනස් කර වෙළෙඳපළට එවීමට සූදානම් කර තිබූ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. උත්සව සමයේ වන වෙළෙඳපළ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීම සඳහා පත්කර ඇති පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය මගින් මෙම වැටලීම් කර තිබේ.


http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=2928:ttwle&catid=82:us-politics&Itemid=457

No comments:

Post a Comment