Tuesday, April 3, 2012

දිනකට සැමන් ටින් 40000 ක්‌ හදන්න කර්මාන්තශාලා තුනක්‌ ඉදිකරයි

පළමු කම්හල අද ගාල්ලේදී විවෘත වේ

ශිරාන් රණසිංහ

දිනකට සැමන් ටින් හතළිස්‌දහසක්‌ නිෂ්පාදනය කිරීමේ අරමුණින් ගාල්ල, පෑලියගොඩ සහ මුන්දලමේ සැමන් ටින් කර්මාන්ත ශාලා තුනක්‌ ඉදිකරන බව ලංකා ධීවර සංස්‌ථාවේ සභාපති මහීල් පී. සේනාරත්න මහතා "දිවයින"ට පැවසීය.

මෙහි පළමු කර්මාන්ත ශාලාව අද (03 වැනිදා) ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ලේ දී විවෘත කරන බවද Cey Fish නමින් මෙම සැමන් ටින් වෙළෙඳපොළට නිකුත් කරන බව ද සභාපතිවරයා කියා සිටියේය.

දිනකට සැමන් ටින් පන්දහසක්‌ පමණ මෙරට ජනතාව පරිභෝජනය කරයි.

ලංකා ධීවර සංස්‌ථාව සහ හැපී කුක්‌ ලංකා ෆුඩ්ස්‌ (පුද්ගලික) සමාගම සමග එක්‌ව ගාල්ලේ වරාය පරිශ්‍රයේ සැමන් ටින් කර්මාන්ත ශාලාව ඉදි කළ අතර එමගින් පළමු අදියර යටතේ සැමන් ටින් දස දහසක්‌ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබේ.

ගාල්ල සැමන් ටින් කර්මාන්ත ශාලාව වෙනුවෙන් රුපියල් ලක්‍ෂ අටසිය හතළිහක මුදලක්‌ වැය වී ඇති අතර පෑලියගොඩ හා මුන්දලමේ කර්මාන්ත ශාලා දෙක වෙනුවෙන් රුපියල් මිලියන පන්සියයක්‌ වැය වෙතැයි ගණන් බලා ඇත.

මෙම වසර අවසානයට පෙරාතුව පෑලියගොඩ සැමන් ටින් කර්මාන්ත ශාලාව ආරම්භ කෙරෙන බව මහීල් පී. සේනාරත්න මහතා කීවේය.

ධීවර හා ජලජ සම්පත් ඇමැති රාජිත සේනාරත්න, නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිළමේ යන මහත්වරුන්ගේ ආරාධනයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් අද (03 වැනිදා) ගාල්ලේදී සැමන් ටින් කර්මාන්ත ශාලාව විවෘත කෙරේ.


http://www.divaina.com/2012/04/03/news11.html

No comments:

Post a Comment