Tuesday, April 17, 2012

විදුලි සේවක වර්ජනය සහතිකයි

පද්මිණී මාතරගේ

විදුලිබල මණ්ඩලයේ සේවකයෝ සිය අවසන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගය ලෙස වැඩවර්ජන තීන්දුවක් සහතික ලෙසම ගෙන ඇති බවත් ඒ පිළිබඳ දින වකවානු නියම කර ගැනීමට සියලු වෘත්තීය සමිති 20 වෙනිදා කොළඹට රැස්වන බවත් ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රංජන් ජයලාල් මහතා ලක්බිමට කීය.
සිය වැටුප් විෂමතාවට එරෙහිව විදුලි පුවත් යැවීම, ලෙඩ නිවාඩු වාර්තා කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ගනු ලැබුවද ආණ්ඩුව සේවක ඉල්ලීම් කිසිසේත් සැලකිල්ලට නොගැනීම නිසා ප්‍රබල සේවක විරෝධයක් මතු වී තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය. 

මේ අනුව විදුලිබල මණ්ඩලයේ 15,000කට අධික සේවකයෝ20 වෙනිදායින් පසුව එළඹෙන දිනයක මෙම වැඩ වර්ජනය සහතික ලෙසම ක්‍රියාත්මක කරන අතර එය ඇතැම් විට අඛණ්ඩව වැඩ වර්ජනයක් විය හැකි බවටද ආණ්ඩුවට අනතුරු අඟවමින් කියා සිටියේය. මීට අදාළව දින වකවානු මෙහිදී තීන්දු කිරීමට නියමිතව ඇත. 

මෙම වැඩ වර්ජන තීන්දුව ලංකා විදුලි සේවක සංගමය, ලංවිම ජාතික සේවක සංගමය, ලංවිම ප්‍රවාහන සේවක සංගමය, ලංවිම පාලන මැදිරි ක්‍රියාකරුවන්ගේ සංගමය, ලංවිම ලිපිකරු සේවක සංගමය ඇතුළු ප්‍රබල වෘත්තීය සමිති 28 ක් ඒකාබද්ධව ගනු ලැබූ බව ද ඔහු පැවසීය.
විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට අසමානව සැලකීමට ආණ්ඩුව ප්‍රමුඛ විදුලි බලධාරීන් කටයුතු කිරීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ගනු ලබන බවද ඔහු කීය. 

විදුලි සේවක වැටුප් විෂමතාවයට එරෙහිව අප්‍රේල් 11 වෙනිදා සියලු සේවකයන් ලෙඩ නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත් වීමේ ක්‍රියා මාර්ගයක් ගනු ලැබූ බවත් සියලු කාර්යාල වැඩබිම් බලාගාරවල සේවකයෝ ඊට එක් වූ බවද ඔහු සඳහන් කළේය. 

මෙහිදී හදිසියේ මතු වූ සුනාමි අවදානම හේතුවෙන් සිය වෘත්තීය සමිති සංධානයේ ඉල්ලීම මත වර්ජනයේ නිරතව සිටි සේවකයෝ අතිකාල සේවා මුර නොසලකා සේවයට වාර්තා කළ බවද ඔහු කීය. අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් පසුවද ආණ්ඩුව ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බවට චෝදනා කළ ඒ මහතා සේවක ගැටලුව සම්බන්ධයෙන් විසඳුමක් ලබා දීමට තබා අඩුම තරමින් සාකචිඡාවක් සඳහා හෝ සේවකයින් කැඳවීමක් නොකළ බවද කීය. 

පවතින මෙම තත්ත්වය හමුවේ අකමැත්තෙන් වුවද මෙසේ වැඩ වර්ජන තීන්දුවක් ගැනීමට සිදුවූ බවත් මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාවට සිදුවන සියලු අපහසුතාවයන්ට. බලපෑම්වලට ආණ්ඩුව සෘජුව වගකිව යුතු යැයිද කීය.

http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=3044:teherd&catid=81:europe&Itemid=457

No comments:

Post a Comment