Wednesday, April 4, 2012

මෙගා සිටි සැලසුම් රටට අහිතකරයි

රජය විසින් උතුරුමැද ප්‍රදේශය පුරා ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාසිටි සැලසුම් මඟින් අතිශය දරුණු ආර්ථිකමය, පාරිසරික, සෞඛ්‍යමය හා සමාජීය ගැටලු රාශියක්‌ ඇති වීමේ ප්‍රබල අවදානමක්‌ ඇති බව, ලෝක ජල දිනය නිමිත්තෙන්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සංවිධානය කළ විද්‍යාත්මක සම්මන්ත්‍රණ මාලාවක දී අවධාරණය කරනු ලැබිණි. ලෝක ජල දිනය හා සමගාමී ව, වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේ දී පැවැති මෙකී සම්මන්ත්‍රණය මහාචාර්ය සරෝඡ් ජයසිංහ සහ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන විසින් සංවිධානය කරනු ලැබූ අතර මේ සඳහා වෛද්‍යවරු, ආර්ථික විද්‍යාඥයෝ මෙන්ම ජල සම්පාදන ක්‍ෂෙත්‍රයේ ඉංජිනේරුවරු ද සහභාගි වූ හ. යෝජිත සැලසුමට අනුව මැදවච්චිය හා ත්‍රිකුණාමලය අතර මහා පරිමාණ නගර කිහිපයක්‌ බිහි කිරීමට සැලසුම් කර ඇති අතර, යම් හෙයකින් එය ක්‍රියාත්මක වුව හොත් දැනටමත් උග්‍ර පානීය ජල අර්බුදයක්‌ පවතින එකී ප්‍රදේශයේ අනපේක්‍ෂිත ගැටලු රාශියක්‌ ඇති වන බවටත් ජල පහසුකම් සැපයීම අර්බුදකාරී හා රටේ සමස්‌ත ආර්ථිකයට දරාගැනීමට නොහැකි පිරිවැයක්‌ ඇති වන බවටත් මෙහි දී අදහස්‌ පළ විය. දැනට ක්‍රියාත්මක වන මහා පරිමාණ පානීය ජල ව්‍යාපෘති බහුතරය බස්‌නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක ව පැවතීමත් පානීය ජල පහසුකම් අවම වන උතුරු මැද ප්‍රදේශය නො සලකා හැර තිබීමත්, විද්වත් ප්‍රජාව ගේ විමතියට සහ අවධානයට ද හේතු විය. බහුජාතික සමාගම් විසින් මේ වන විට පානීය ජලය බෝතල් කර විදේශයන් වෙත අපනයනය කිරීම පිණිස මෙරට ජල සංචිත සහිතව සශ්‍රීක භූමි ප්‍රදේශයන් මිල දී ගනිමින් පවතින බවත් එවන් ක්‍රියාමාර්ගයන් වළක්‌වාලීම පිණිස ශක්‌තිමත් ක්‍රමවේදයක්‌ දැනට නො පවතින බවත් මෙහි දී හෙළිදරව් විය.

http://www.vidusara.com/2012/03/28/news3.html

No comments:

Post a Comment