Friday, April 6, 2012

කිඹුල් උවදුරින් මිදීමේ මග ඒකාකාරි දිවි පෙවෙත වෙනස්‌ කිරීමයි

- මහාචාර්ය ඈන්ස්‌ලම් ද සිල්වා

ගම්පොළ - සුරංග දිල්හාන්

ගංගා ඇළ දොළ ආශ්‍රිතව අප සිදු කරන ඒකාකාරී දිවි පෙවෙත වෙනස්‌ කිරීම හා අපගේ නොසැලකිල්ල තුරන් කිරීම තුළින් දිනෙන් දින බහුල ලෙස ඉහළ යන කිඹුල් උවදුරින් මිදීමට හැකි පහසුම ක්‍රමය බව ලෝක සත්ව සංරක්‍ෂණ සංගමයේ කිඹුල් විශේෂඥ කමිටුවේ දකුණු ආසියා හා ඉරානයේ උප සභාපති සත්ව විශේෂඥ මහාචාර්ය ඈන්ස්‌ලම් ද සිල්වා මහතා පෙන්වා දෙයි.

අලි මිනිස්‌ ගැටුම මෙන් කිඹුල් මිනිස්‌ ගැටුම තුළිනුත් විශාල ජීවිත හානි ප්‍රමාණයක්‌ සිදුවන බව පවසන මහාචාර්යවරයා අලියා මිනිසා ජීවත්වන ප්‍රදේශයට පැමිණීමෙන් මෙම ගැටුම හටගත්තත් කිඹුල් මිනිස්‌ ගැටුම ඇතිව තිබෙන්නේ කිඹුලා ජීවත්වන ප්‍රදේශ වලට මිනිසා යැමෙන් බවද සඳහන් කරයි.

ලංකාවේ කිඹුලා සම්බන්ධයෙන් දීර්ඝ කාලයක්‌ පුරා යාපනේ සිට මාතර දක්‌වා දීප ව්‍යාප්තව සිදු කළ පුළුල් ගවේෂණයට අනුව හඳුනාගත් විශේෂ ලක්‍ෂණයන් හා කිඹුලා එකවර ගොදුරු ඩැහැගන්නා සතෙකු නොවන බවත් බොහෝ කාලයක්‌ කුරුමානම් අල්ලා එම ක්‍රියාව සිදු කරන බවත් පවසන ඈන්ස්‌ලම් ද සිල්වා මහතා ඒ අනුව අප දිගු කාලයක්‌ ගංගා, ඇළ දොළ ආශ්‍රිතව සිදු කරන ක්‍රියාවන් මෙම සතාට පහසුවක්‌ බවද සඳහන් කරයි.

ලෝකයේ දරුණුම කිඹුල් වර්ග දෙකක්‌ ද සිටින බව පවසන මහාචාර්යවරයා එයින් එක්‌ වර්ගයක්‌ ලංකාවේ ද සිටින බව පවසයි. ඒ අනුව ගැට කිඹුලා හා නයිල් කිඹුලා යන දෙවර්ගය ලෝකයේ දරුණුම කිඹුල් වර්ග දෙකට අයත් වේ.

මිනිස්‌ ජීවිතවලට තර්ජනය වන කිඹුල් වර්ග අට දෙනා අතුරින් දෙදෙනකුද ලංකාවේ සිටින බව සඳහන් කරන මහාචාර්වරයා ඒ අනුව ගැට කිඹුලා හා හැල කිඹුලා යන දෙවර්ගය මෙසේ ලංකාවේ මිනිස්‌ ජීවිත වලට තර්ජනයක්‌ වී ඇති බවද සඳහන් කරයි.

කිඹුලා ඉතා ඥනවන්ත සතෙකු හා සතුන් ඩැහැ ගැනීමට ඉතා දක්‍ෂ සතෙකු බවද පෙන්වා දෙන සිල්වා මහතා ඊට වඩා ඥනවන්ත කෙනකු වන මිනිසා ඔහුගේ නොසැලකිල්ල නිසා මෙසේ කිඹුලාට ගොදුරුවන බවද පෙන්වා දෙයි.

කිඹුලන්ට ගොදුරු වුණ මිනිසුන් 150 ක්‌ පමණ තම පර්යේෂණයන්ට ලක්‌වූ බවත් ඉන් 50 ක්‌ පමණ ජීවිත හානි සිදුව තිබූ බවත් පවසන මහාචාර්යවරයා මේ සියලු දෙනාම කිඹුලාට ගොදුරු වී ඇත්තේ දිනපතාම එකම වේලාවට, එකම ස්‌ථානයේදී ගංගා වල දිය නෑම, මුහුණසේදීම වැනි ක්‍රියාවන් කිරීම නිසා බවද සඳහන් කරයි.


http://www.divaina.com/2012/04/06/provin02.html

No comments:

Post a Comment