Monday, April 9, 2012

ගොඩකවෙල සහ රක්වානේ පරිසර විනාශය ඉහළට

බලධාරීන් නිදිමතේ

ගොඩකවෙල ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයේ ගම් ප්‍රදේශ කිහිපයක්ම ඉතා දරුණු ලෙස පරිසර විනාශය වී යාමේ තර්ජනයකට ලක්ව තිබෙන බව දක්නට ලැබේ. රක්වාන රක්ෂිත වනාන්තරය, රිදීමිටකැම්මත රක්ෂිතය, කෝම්පිටිය ජල මූලාශ්‍රය ආදී ස්ථාන මේ අතර වෙයි. රක්ෂිත වනාන්තර මෙන්ම ප්‍රදේශයේ පිහිටා ඇති ගංගා, ඇළ දොළ ආදියද විනාශවීමේ තර්ජනයට මුහුණ දෙමින් සිටින අතර, වනාන්තරවල තිබූ වටිනා ගස් මේ වන විට විශාල ලෙස අතුරුදහන් වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති. කුඹුක්, හොර, කැකුණ කැලෑදෙල් සහ කොස් ආදී විවිධ වර්ගවල ගස් මේ අතර වේ. රක්වාන වන රක්ෂිතයේ බහුලව තිබූ වටිනා ඖෂධ ශාකයක් වන වෙනිවැල් (බාන්වැල්) සහ ගොනිකා ආදී ශාකයන්ද විනාශකාරී ලෙස ජාවාරම්කරුවන් සොරාගෙන යාම නිසා වඳවීමේ තර්ජනයකටද මුහුණපා ඇත. ගස් කැපීම හා අනවසර මැණික් ගැරීම හේතුවෙන් ප්‍රදේශයේ ගංගා, ඇළදොළ විනාශයට ලක්වී ඇත. ප්‍රදේශය මැදින් ගලායන ප්‍රධානතම ගංගාව වන රක්වාන ගඟද දැඩිලෙස විනාශයට පත්වෙමින් පවතී. ගංගාවේ ඉහළ ජල‍පෝෂිත ප්‍රදේශය තේ වගාකරුවන් විසින් අත්පත්කොට ගෙන ඇත. කැලෑව හෙළිපෙහෙළි කොට තේ වගාව ඉතා ශීඝ්‍රලෙස කරගෙන යති. ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතාවය මෙන්ම ගොවිතැනටද ජලය සපයන රක්වාන ගඟේ ජලය ඉතා අපිරිසිදු බව සෞඛ්‍ය අංශවලින් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. රක්වාන නගරය අසලින් ගලායාමේදී ගඟේ ජලය දැඩි ලෙස දූෂණය වීමට ලක්වන බව පෙනේ. ගඟ ඉවුරුවල අනවසර ඉදිකිරීම්ද බහුලය. රිදීවිට කැම්මත ජල ‍පෝෂිත ප්‍රදේශය හා කෝම්පිටිය ජල මූලාශ්‍රයේ අසල ඇති ගල්මෝලද පරිසර විනාශයට එක් සාධකයක් ලෙස පෙනේ. ප්‍රධාන ගංඟාව හැරුණුවිට ප්‍රදේශයේ ඇළ,දොළ ගණනාවක්ම අනවසර මැණික් ගැරීම නිසා විනාශයට පත්වී ඇති අයුරු දැකගන්නට හැකිය. මස්ඉඹුල වෙල්යායට ජලය සපයන ‍පොතුවිල් ඇළද, ආරම්භක ස්ථානයේ සිටම මැණික් පතල් නිසා විනාශ වී ගොස් ඇති අතර, ඇළ ඉවුරේ දෙපස වූ වටිනා විශාල ගස් විටින් විට අතුරුදහන් වී ඇති බව ගම්වාසීහු පවසති. ගොඩකවෙල නගරය අසලින් ගලායන දොඹකොළ ඇළද දැඩි ලෙස අපිරිසිදු වී ඇති බව දක්නට ලැබේ. නගරයේ ව්‍යාපාරික ස්ථානවලින් අපද්‍රව්‍ය ඇළට දැමීම මෙයට ප්‍රධාන හේතුවක් වන අතර, සෞඛ්‍ය අංශයේ නිලධාරීන් මේ පිළිබඳව අවස්ථා කිහිපයකදීම දැනුවත් කළ බවද වාර්තා වෙයි. ගොඩකවෙල වෙල්යාය, මස්ඉඹුල, වැලමිටියාව, මල්වත්ත ආදී ගම්වල කුඹුරුවලට ජලය සපයන මල්වත්ත වාරිමාර්ග ඇළඳ විනාශයට පත්වී ඇත. ඇළ රක්ෂිතයේ අනවසර පදිංචි වීම් සහ පැරණි විශාල ගස් විනාශකර දැමීමද දක්නට ලැබේ. මේ කරුණු පිළිබඳව බලධාරීන්ට කොතරම් පැමිණිලි කළද මේ දක්වා කිසිම පියවරක් ගෙන නැති බව ජනතාව ප්‍රකාශ කරයි. පසුගිය දින රැස් වූ ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ මහ රැස්වීමේදී මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම මෙම පරිසර විනාශය ගැන කරුණු ඉදිරිපත් කළහ. ඔවුන් හැම දෙනාම ප්‍රකාශ කළේ මෙම විනාශ ඉක්මනින් නැවැත්වීමට ක්‍රියාකළ යුතු බවය. ප්‍රාදේශීය සභාවේ සභාපති වී.ජි. මංගලතිස්ස මහතා මෙම ගැටලුව විසඳීමට ඉතාමත් උනන්දුවකින් කටයුතු කරනු ලැබුවද, අදාළ නිලධාරීන් හෝ බලධාරීන් නිහඬව සිටීම, ප්‍රාදේශීය ජනතා නියෝජිතයින්ට මෙන්ම ජනතාවටද මහත් ගැටලුවක්ව ආහ.

http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=2898:2012-04-08-17-47-32&catid=43:foot-drink&Itemid=400

No comments:

Post a Comment