Wednesday, April 18, 2012

විගණකාධිපති දෙපාර්තමේන්තුව අඩපණ කිරීමේ කුමන්ත්‍රණයක්

විජයානි එදිරිසිංහ

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කටයුතු අඩපණ කිරීමේ සහ එම දෙපාර්තමේන්තුව අවමානයට ලක්කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව විගණකාධිපති එච්. ඒ. එස්. සමරවීර මහතා පවසයි.

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදී විසමාචාර කටයුතු නිසා වැඩ තහනමට ලක්වූ නිලධාරියකු, පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් උපයෝගී කර ගනිමින් අනුරාධපුර ප්‍රදේශයේ පරාජිත ජ. වි. පෙ. මන්ත්‍රීවරයකු හා එක්ව මේ කුමන්ත්‍රණය සිදුකරන බව ඒ මහතා පවසයි.

කූඨ ලේඛන සැකසීම, අල්ලස් ගැනීම සහ වෙනත් විසමාචාර නිසා ඉහත කී නිලධාරියා අනිවාර්ය නිවාඩු යවා අනතුරුව සේවයෙන් පහකර තිබේ. මීට සම්බන්ධ පෞද්ගලික රූපවාහිනී නාලිකාවේ විමර්ශන වැඩසටහන් අධ්‍යක්‍ෂවරයකු ද එම කුමන්ත්‍රණයට සම්බන්ධ වී සිටින බව හෙතෙම කීය.

විගණකාධිපති දෙපාර්තමේන්තුව ස්වාධීන ආයතනයකි. මෙතෙක් එම දෙපාර්තමේන්තුව අවමානයට ලක්වී හෝ ලක්කර නොමැත. ඉහත කී නිලධාරියා ද වැඩ තහනමට ලක්කළේ දෙපාර්තමේන්තුවේ ගෞරවයට හානිවන වංචාවන් සිදුකළ නිසායි.

වර්තමාන රජය විගණනය ශක්තිමත් කිරීමට පියවර ගෙන ඇති අවස්ථාවක එය අඩපණ කිරීමට මෙසේ කුමන්ත්‍රණය කරන බව විගණකාධිපතිවරයා පවසයි.


http://www.dinamina.lk/2012/04/18/_art.asp?fn=n1204183

No comments:

Post a Comment