Tuesday, April 17, 2012

මැටි වළං මිල ඉහළ යාමෙන් ජනයා අසීරුවේ

වැලිගම තාවකාලික වෙළෙඳ කුටිවල බිම්බද්ද රු. 4000 යි.....

පසන් රාමවික්‍රම - මාතර දිස්ත්‍රික්ක

සිංහල අවුරුද්ද සමග මැටි භාණ්ඩ සඳහා ඇත්තේ ඉහළ ඉල්ලුමකි. සෑම නගරයකම පාහේ එවැනි මැටි භාණ්ඩ අලෙවි කිරීමට වෙළෙඳපළේ දක්නට ලැබේ.

වැලිගම කුඹල්ගම නමැති ගමේ අතීතයේ පටන්ම මැටි භාණ්ඩ නිෂ්පාදනයට දැක්වූයේ මහත් ප්‍රසිද්ධියකි. එම කර්මාන්තයේ නියළි පිරිස විශාල ලෙස එකල සිටියද අද වෙන විට විවිධ හේතූන් නිසා එම පිරිස්වල අඩුවීමක් දක්නට ලැබේ.

අපේ දෙමවුපියන් කළෙත් මේ රස්සාව තමයි. ඒ කා‍ලේ මේ ගමේ මැටි භාණ්ඩ නිෂ්්පාදනය කළා. පසු කාලයෙදී නිෂ්පාදනය සිදුනොවී වෙළෙඳාම පමණක් සිදුකරන්නට වුණා. අමුද්‍රව්‍ය සොයා ගැනීමට නොහැකි වීම නිසා නිෂ්්පාදනය ඇන හිටියා. ඒ කා‍ලේ කුඹුරුවලින් මැටි ගන්නකොට මුදල් අය කළේ නැහැ. කුඹුරුවලින් මැටි ගැනීම හොඳයි කියලා කුඹුරු හිමියන්ගේ මතයක් ඒ කා‍ලේ තිබුණා. නමුත් පසු කාලයේදී කුඹුරු හිමියෝ මැටි ගන්නකොට අපෙන් මුදල් වැය කරන්න කටයුතු කළා. ඊට පස්සේ මැටි දුර ප්‍රදේශවලින් ගේන්න වුණා. ප්‍රවාහන වියදම් මේ වෙනුවෙන් වැයවුණා කියා නිෂ්පාදනය අතහරින්නට වුණා. වැලිගම කුඹල්ගම පරණවිතානගේ හේමචන්ද්‍ර මහතා පවසයි.

වැලිගම කුඹල්ගම ප්‍රදේශයේ මැටි

නිෂ්පාදනවලින් ජීවත්වූ විශාල පිරිසකට මෙවැනි තත්ත්වයන් උද්ගතවීම නිසා තම නිෂ්පාදන කටයුතු නතර කිරීමට සිදුව ඇත. එම කර්මාන්තයේ යෙදුන අය අද වෙන විට කරන්නේ එම භාණ්ඩ නිෂ්පාදනය කරන දුර බැහැර ප්‍රදේශවලින් මැටි භාණ්ඩ ගෙනවිත් අලෙවි කිරීමය. බෙලිඅත්ත, කිරින්ද, වීරකැටිය සහ මිනුවන්ගොඩ වැනි දුර ප්‍රදේශවලින් ඔවුත් මෙම නිෂ්පාදන රැගෙන එති.

අවුරුදු කාලයට නගරයෙහි තාවකාලික කුුටිවල වෙළෙඳාම් කටයුතු සිදුකරන අතර අනෙක් කාලයට වෙළෙදසැල් වලට මෙම නිෂ්පාදන අලෙවි කිරීම සිදුකරයි. වැලිගම නගරයේ මැටි භාන්ඩ අලෙවි කරණ වෙළෙඳුන් පවසන පරිදි ඔවුන්ගෙන් මෙයට පෙර වසරවලදි බිම් බද්ද ලෙස රුපියල් 50-60 වැනි මුදල් අය කර ඇතත් මෙවර එය රුපියල් 4000ට වැනි මුදලකට ඉහළ දමා ඇත. මෙවැනි මුදලක් අය කරනු ලැබුවද ඔවුනට කිසිදු මූලික පහසුකමක් ලබා දීමට නගර සභාව පියවරගෙන නොමැත. රාත්‍රී කාලයේ එම වෙළෙඳසල් අසල වීදි පහනක් හෝ දැල්වෙන්නේ නැත. අක්‍රියවී ඇති විදුලි පහන් යථා තත්ත්වයට පත් කර තිබුණේ නම් මෙම වෙළෙඳුන් මෙවැනි

දුෂ්කරතාවයන්ට පත් නොවීමට ඉඩ තිබුණි.

අපට ප්‍රවාහන වියදම් මෙන්ම මෙම වෙළෙද සල් වෙනුවෙන් නගර සභාව බිම් බද්ද ඉහළ දැමීම නිසා අපට බඩුවල මිල ඉහළ දමන්නට සිදුවෙලා. නමුත් බඩුගන්න එන අය තියනවා ගිය අවුරුද්දට වඩා මේ පාර බඩුවල මිල වැඩියි කියලා. අපිට පරණ ගණන්වලට බඩු දෙන්න හැකියාවක් නැහැ. සුළු ලාභයක් පමණයි තියෙන්නේ. සීසන් එකට බඩු ගන්න කොට ඒවා නිෂ්පාදකයින්ගෙන් මෙන්ම අතරමැදියන්ගෙන් ගන්නකොට ඒ අය මුදල වැසි කරනවා. ඊට කලින් බඩු අරන් දමන්න අපිට හැකියාවක් නැහැ. මේ නිසා අපි ලොකු අපහසුතාවයන්ට ලක්වෙනවා. වැලිගම කුඹල්ගම, එම්.බි. ජිනදාස මහතා පවසයි.

මෙම වෙළෙඳසවල මෑතක සිට ගෑස් ළිපට යොදා ගන්නා වළංවලට ඉහළ ඉල්ලුමක් ඇත. එම වළං තරමක් මිලෙන් වැඩිය.

එම වෙළෙඳුන් පවසන්නේ මෙම වළං නිෂ්පාදනයෙදී යොදා ගන්නා අමුද්‍රව්‍ය අනෙක් වළංවලට යොදා ගන්නා අමුද්‍රව්‍යවලට වඩා වෙනස් බවය. තිරිවාන ගල් කුඩුකර මැටිවලට යොදන අතර එම මැටි පෙරා ගන්නා බවත්, ඔවුන් පවසයි, මේ නිසා සාමාන්‍ය වළං ගෑස් ළිපට යොදා ගැනීමෙදි රත්වීමට වැඩි කාලයක් ගතවීමත් එම වළං පිපිරී යාමත් මෙහිදී සිදුනොවන බව පවසයි ඇලුමිනියම් ප්ලාස්ටික් නිෂ්පාදන වෙළෙද‍පොළ ආක්‍රමණය කළද මැටි භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම අඩුවක් දක්නට නැත. මෙම වෙළෙදාම් සඳහා එය කිසිදු බලපෑමක්ද ඇති නොවි ඇති බව පැහැදිලිය.

මේ නිසා මෙරට මැටි භාණ්ඩ නිෂ්පාදනයේ හෙට දවස වඩාත් හොඳ තත්ත්වයකට පැමිණීමට ඉඩ ඇත. මේ නිසා එම කර්මාන්තයේ නියැළි පිරිස් මුහුණ දෙන ගැටලු කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුව ඇත.


http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=3028:ppeoefd&catid=55:diet-fitness&Itemid=410

No comments:

Post a Comment