Wednesday, April 18, 2012

ලබන වසරේ දැයට කිරුළට භූමිය සැකසීමේදී පරිසරයට හා පෞරාණික බවට හානි නොවන ලෙස කටයුතු කරන්න

- ජනපති උපදෙස්‌ දෙයි

දැයට කිරුළ 2013 සංවර්ධන කටයුතු සඳහා භූමිය සකස්‌ කිරීමේදී ස්‌වාභාවික පරිසරයට හා ප්‍රදේශයේ පෞරාණිකත්වයට හානි නොවන ආකාරයට කටයුතු කිරීමට හා ඒ සඳහා මනා කැපවීමෙන් කටයුතු කිරීමට හැකි නිලධාරීන් පිරිසක්‌ සේවයට යෙදවීමට කටයුතු කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැයට කිරුළ සංවිධායකවරුන්ට හා නිලධාරීන්ට උපදෙස්‌ දී තිබේ.

ලබන වසරේ දැයට කිරුළ ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිත අම්පාර දිස්‌ත්‍රික්‌කය කේන්ද්‍ර කරගෙන මඩකලපුව පොළොන්නරුව හා ත්‍රිකුණාමලය යන දිස්‌ත්‍රික්‌ක හතරෙහි ප්‍රදර්ශනය සමගාමීව ඒ ඒ පළාත්වලට විශේෂ ව්‍යාපෘතීන් තෝරාගෙන ඒ හා සම්බන්ධව සංවර්ධන කටයුතු කිරීමටත් ජනතාවගේ අනෙකුත් අවශ්‍යතා ඉටු කිරීමට විධිමත් වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන ලෙසත් අදාළ බලධාරීන් වෙත ජනාධිපතිවරයා උපදෙස්‌ දුන්නේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (17 දා) අරලියගහ මන්දිරයේ පැවැති 2012 දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයේ වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදීම හා 2013 දැයට කිරුළ ප්‍රදර්ශනය වෙනුවෙන් පැවැති පූර්ව සාකච්ඡාවේදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විශේෂයෙන් ප්‍රදර්ශනය නැරඹීමට එන මහජනතාවගේ ප්‍රයෝජනය වෙනුවෙන් සිංහල, දෙමළ භාෂා දෙකෙන්ම කියවා තේරුම් ගැනීමට හෝ සවන් දීමට හැකිවන ආකාරයට අත් පත්‍රිකා සහ පටිගත කළ හඬපට ප්‍රචාරය කරවීමට හැකිවන පරිදි ප්‍රදර්ශන කුටි සකස්‌ කළ යුතු බවද පැවසීය.

ඔයාමඩු ප්‍රදේශයේදී පැවැති දැයට කිරුළ භූමිය වඩාත් හොඳින් හා අඛණ්‌ඩව ප්‍රයෝජනයට ගත හැකි පරිදි දැනට ඉදිකර ඇති ගොඩනැඟිලි වී ගබඩා සඳහා ප්‍රයෝජනයට යොදාගෙන ඉතිරි ගොඩනැඟිලි වෘත්තීය පුහුණු කටයුතු හෝ කුඩා කර්මාන්ත පවත්වා ගැනීම සඳහා යොදා ගත යුතු යෑයි මෙහිදී යෝජනා විය.

2012 දැයට කිරුළ ප්‍රදර්ශනයේ වාර්තාව හා සන්නස ජනාධිපතිවරයා වෙත භාරදීම විදුලි සංදේශ හා තොරතුරු තාක්‌ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් සිදුකළ අතර හොඳම ප්‍රදර්ශන කුටි 10 සඳහා තිළිණ හා සහතිකපත් ප්‍රදානය කිරීමද සිදු විය.

මෙම අවස්‌ථාවට ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පී. දයාරත්න අමාත්‍යවරුන් වන මෛත්‍රීපාල සිරිසේන, ඒ. එල්. එම්. අතාවුල්ලා, එස්‌. එම්. චන්ද්‍රසේන, ප්‍ර්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුද අමාත්‍යාංශ ලේකම්වරුන් හා ආරක්‍ෂක අංශ ප්‍රධානීන් ඇතුළුÊපිරිසක්‌ ද එක්‌ව සිටියහ.

http://www.divaina.com/2012/04/18/news12.html

No comments:

Post a Comment