Monday, April 2, 2012

CPC to hire foreign expert - cause clarified (3 items)

විදෙස්‌ වෘත්තිකයකු ගෙන්වන්නේ මාස 6 ක කාලසීමාවකටයි

ඛනිජ තෙල් සංස්‌ථාව කියයි

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව 2010 අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක කළ සම්පත් සැලසුම් පරිගණක මෘදුකාංග පද්ධති තුළින් වැරදි හා වංචා සිදුවී ඇද්දැයි විගණනයකට ලක්‌කොට නැති බැවින් මාස හයකට ඇමරිකානු ඩොලර් විසිපන්දහසක්‌ ගෙවා විදේශීය වෘත්තිකයකුගේ සහාය ගැනීමට සංස්‌ථාව තීරණය කර ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්‌ථා සභාපති දයානන්ද විදානගමාච්චි මහතා නිවේදනයක්‌ එවමින් කියා සිටී.

දිනකට රුපියල් එක්‌ලක්‍ෂ හැටපන්දහසක පමණ වැටුපකට තොරතුරු තාක්‍ෂණ උපදේශකවරයකු පිටරටින් ගෙන්වීමට යන බවට "දිවයින" කළ හෙළිදරව්ව පිළිබඳ කරුණු පැහැදිලි කරමින් මෙම නිවේදනය එවා ඇත.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

2007 වසරේදී ආරම්භ කොට 2010 අප්‍රේල් 01 වැනිදා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම හා ලංකා ඉන්දියානු තෙල් සමාගම තුළ ක්‍රියාත්මක කරන ලද ආයතනික සම්පත් සැලසුම් පරිගණක මෘදුකාංග පද්ධතිය (ERඡ) වංචා හා වැරදිවලින් තොරව ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා ස්‌වාධීන තොරතුරු තාක්‍ෂණ විගණනයක්‌ කළ යුතු යෑයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව තීරණය කළේය.

ඒ අනුව ඛනිජ තෙල් ආශ්‍රිතව ආයතනික සම්පත් සැලසුම් පරිගණක මෘදුකාංග පද්ධති පිළිබඳව මනා දැනුමැති වෘත්තිකයෙකුගේ සේවය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවට ලබාගැනීමට තීරණය කළේය. මාස 6 ක සේවා කාලයක්‌ සඳහා ඇමෙරිකානු ඩොලර් විසිපන්දහසක ගෙවීමක්‌ යටතේ විදේශීය වෘත්තිකයකුගෙන් එම සේවය ලබාගැනීමට යෝජනා වී ඇත.
මෙය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථා ආයතනික සම්පත් සැලසුම් පරිගණක මෘදුකාංග පද්ධතියේ (ERඡ) සමස්‌ත ක්‍රියාවලිය පිළිබඳව කරනා විගණනයක්‌ මිස දීර්ඝ කාලීන උපදේශන සේවාවක්‌ ලබාගැනීමක්‌ නොවේ. එමෙන්ම මෙම යෝජනාව සම්බන්ධව මෙතෙක්‌ සේවා ගිවිසුමකටද එළඹ නැත. පසුගිය කාලසීමාව තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ මෙම පරිගණක පද්ධතිය තුළින් වංචා හා වැරදි වී ඇද්දැයි විගණනයකට ලක්‌කොට නොමැති හෙයින් ඒ පිළිබඳව පරීක්‍ෂා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාව මෙම පියවර ගත්තේය.


http://www.divaina.com/2012/04/02/news22.html


ඛණිජ තෙල් පරිගණක හරහා වංචා දූෂණ ගැන සැක මතු වෙයි

ශිරාන් රණසිංහ

වසර දෙකක සිට ලංකා ඛණිජ තෙල් සංස්‌ථාව, තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (සී.පී. එස්‌.ටී.එල්.) සහ ඉන්දීය තෙල් සමාගම තුළ ක්‍රියාත්මක කළ පරිගණක මෘදුකාංග පද්ධතිය හරහා වංචා හා දූෂණ සිදුවන්නේද යන්න තෙල් සංස්‌ථා ප්‍රධානීන්ට සැක මතුව තිබේ.

ඒ අනුව වහාම සැලසුම් පරිගණක මෘදුකාංග පද්ධතිය පිළිබඳ මනා දැනුමක්‌ ඇති අයකු ගෙන්වාගෙන තොරතුරු තාක්‌ෂණ විගණනයක්‌ කිරීමට තෙල් සංස්‌ථා ප්‍රධානීන් තීරණය කොට ඇත.

ශ්‍රී ලංකාවේ සිටින තොරතුරු තාක්‌ෂණ දැනුම ඇත්තන්ට වඩා ස්‌වාධීන අයකු පිටරටකින් හෝ මෙරටට ගෙන්වා ගත යුතුව ඇතැයි අධ්‍යක්‌ෂ මණ්‌ඩලය වෙත යෝජනාවක්‌ ඉදිරිපත් කර ඇත.

ලංකා ඛණිජ තෙල් සංස්‌ථාව තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (සී. පී.එල්. ටී.එල්.) සහ මුතුරාජවෙල ගබඩා සංකීර්ණය තුළ සිදුවන ඉන්ධන වංචා හෙළිවීමෙන් පසු මෙම පරිගණක මෘදුකාංග පද්ධතිය පිළිබඳ සැක පහළ වී තිබේ.

පරිගණක මෘදුකාංග පිළිබඳ මෙරට විශේෂඥයකුගේ සහාය නොගෙන විදේශීය අයකුගේ සහාය ලබාගැනීම සඳහා දිනකට ඩොලර් 1250 ක්‌ වැය කිරීමටද යෝජනා වී ඇති අතර ඊට අධ්‍යක්‌ෂ මණ්‌ඩල අනුමැතිය තවමත් පළවී නැතැයි සංස්‌ථා නිලධාරීහු පවසති.


http://www.divaina.com/2012/04/02/news09.html


තෙල් සංස්ථාවේ පරිගණක මෘදුකාංග පද්ධතිය විගණනයට

නුවන් කොඩිකාර

පරිගණක මෘදුකාංග පද්ධතිය නිවැරැදිව ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා ස්වාධීන තොරතුරු තාක්ෂණ විගණනයක් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම හා ලංකා ඉන්දියානු තෙල් සමාගම තුළ ක්‍රියාත්මක කරන ලද ආයතනික සම්පත් සැලසුම් මෘදුකාංග පද්ධතිය මෙලෙස විගණනය කිරිමට පියවර ගන්නා බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දයානන්ද විදානමාච්චි මහතා පැවැසීය.

මාස 06 ක සේවා කාලයක් සඳහා අමෙරිකන් ඩොලර් විසිපන්දාහක ගෙවීමක් යටතේ විදේශීය වෘත්තිකයකුගේ සේවා ලබා ගැනීමටද යෝජනා වී ඇති බවද හෙතෙම කීවේය.

මෙය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආයතනික සම්පත් සැලසුම් පරිගණක මෘදුකාංග පද්ධතියේ සමස්ත ක්‍රියාවලිය පිළිබඳ කරනා විගණනයක් මිස දීර්ඝ කාලීන උපදේශන සේවාවක් ලබාගැනීමක් නොවන බවද ඒ මහතා සඳහන් කළේය.

පසුගිය කාලසීමාව තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථවේ මේ පරිගණක පද්ධතිය තුළින් වංචා හා වැරැදි වී ඇද්දැයි විගණනයකට ලක්කොට නොමැති බවද විදානගමාච්චි මහතා ප්‍රකාශ කෙළේය.


http://www.dinamina.lk/2012/04/02/_art.asp?fn=n1204025

No comments:

Post a Comment