Monday, November 7, 2011

අලින්ගෙන් බැටකන පුලතිසි පුරවරය


පොලොන්නරුව, මනම්පිටියේ ගම් ගණනාවක වැසියෝ එසේ කියා සිටිති. මනම්පිටිය පුරාණ ගම, මාගංතොට, එකේ කණුව, දළුකාන යන ගම්මානවලට අලින්ගෙන් එල්ල වන තර්ජන උත්සන්න වී තිබේ. මේ දිනවල එම ගම්වල ජනයා රැය පහන් කරනුයේ ඉමහත් බියකිනි. යාන්තමින් අඳුර වැටෙන්නටත් පෙර අලි ගම්මාන වෙත පැමිණෙන බව එහි වැසියෝ කියා සිටියහ. ඉකුත් සතියේ මෙලෙස පැමිණි අලින් විසින් කඩා දමනු ලැබූ නිවාස ගණන 08 ක්‌ බව අපට දැන ගත හැකි විය. අලින් මෙම ගම්මානවලට පැමිණෙන්නේ ආහාර සොයාගෙනයි. එසේ පැමිණ නිවෙස්‌වල තිබෙන වී, සහල්, ලුණු ආදියට ඉව අල්ලා ඒවා ආහාරයට ගැනීම සඳහා ගෙවල් බිඳිති. මනම්පිටිය පුරාණ ගමේ පිහිටි ගෙවල් 05 කට එකම දින රාත්‍රියේ මෙලෙස ආහාර සොයා පැමිණි අලින් විසින් හානි කර තිබුණි. එදින අලින්ගේ ප්‍රහාරයෙන් මුළුමනින් ම හානියට පත් තාවකාලික නිවසක හිමිකරු වූයේ එස්‌. නාගරාජා (42) මහතායි. දරුවන් දෙදෙනකුගේ පියකු වන ඔහුට ස්‌ථිර රැකියාවක්‌ නොමැත. ජීවිකාව ලෙස කුලී වැඩක නිරත වීම හෝ කැලයට ගොස්‌ වේවැල් ටිකක්‌ කපාගෙන විත් විකුණා ගැනීම තම ජීවිකාව බවයි ඔහු පැවසුවේ. පසුගිය සෙනසුරාදා (15 දා) රාත්‍රි 11.00 ට පමණ ගමට කඩා වැදුණු අලියකු තම නිවහන කඩා බිඳ සුණු විසුණු කර දැමූ බව ඔහු කීය. එදින බිරිඳ සහ දරු දෙදෙනා සමඟ නාගරාජා අසල පිහිටි තම නැඟණියගේ නිවසේ සිටියදී අලියා පැමිණි බවයි අප හා කියා සිටියේ.

අලියා ඇවිල්ලා ගේ කඩන වෙලාවේ අපි ගෙදර හිටියෙ නැති හින්දා අපේ ජීවිත බේරුණා. නැත්නම් අපිත් මරල දානවා. රෑ කොහේ කියල යන්නද. කොහොම බේරෙන්නද? අලියා ගේ කඩලා හැම දේම විසි කරලා තිබුණා. පොඩි දරුවාගේ කිරිපිටි පැකැට්‌ එකත් කාලා ගිහින් තිබුණා.

මනම්පිටිය පුරාණ ගමේ පිහිටි රාසයියා මුරුගේසු (47) මහතාගේ නිවසට ද මෙදින අලින්ගෙන් හානි සිදුව තිබේ. සිවුදරු පියකු වන ඔහු පැවසුවේ කෑමට තිබූ වී ගෝනි කිහිපයක්‌ ද එදින නිවසින් පිටතට රැගෙන ගොස්‌ කා දමා තිබෙන බවයි.

අපි ජීවත් වෙන්නේ කුලී වැඩ කරලා. නැත්නම් කාගේ හරි කුඹුරක මුර කරලා. ඒ ලැබෙන සල්ලි වලින් තමයි කෑමට වී ගෝනි කීපයක්‌ අරන් තියා ගත්තේ. කන්න තිබුණු වී ගෝනි කිහිපය තමයි මේ බිත්තිය කඩලා අලියා අරන් තියෙන්නේ. දැන් අපි මේ ගම්වල ඉන්නේ හරිම බයෙන්. හැමදාම වගේ රෑට අලි එනවා. මේ තත්ත්වය එන්න එන්නම වැඩියි. මෙහෙම ගියොත් අපිට සිද්ධ වෙන්නේ මේ ගම් දාල යන්නයි."

මනම්පිටිය රෝහල පාරේ වෙසෙන රාජරත්න බණ්‌ඩා (52) මහතා පෙන්වා දෙන්නේ අන් කවරදාටත් වඩා දැන් අලි ගම්වැදීම වැඩි වී තිබෙන බවයි.

"අලි ඉස්‌සර මේ විදියට නිතරම ගම්වලට ආවේ නෑ. මෙහෙම හිරිහැර කළේ නෑ. දැන් අලින්ගේ හිරිහැර එන්න එන්නම වැඩියි. සමහරදාට අඳුර වැටෙන කොටම අලි එනවා. එලවා ගන්නත් හරිම අමාරුයි. තව ටික දවසක්‌ යනකොට අලින්ටම මේ ගම්වල ඉන්න ඉඩ ඇරලා අපිට යන්ඩ තමා සිද්ධ වෙන්නේ."

මනම්පිටියේදී අපට මුණ ගැසුණු 20 හැවිරිදි එක්‌දරු මවක වන ඒ. ඉද්‍රණි මහත්මිය කියා සිටියේ අලින්ගේ ගම්වැදීම විශාල හිරිහැරයක්‌ බවය. මේ හේතුවෙන් මෙම ගම්මානවල ජනයා දැඩි බියකින් කල් ගෙවන බව ද ඇය කීවාය.

පෙර දින රාත්‍රියේ ගමට කඩා වැදුණු අලින් විසින් තම නිවෙස්‌ තුළ තිබූ සහල්a, ලුනු ආදීය රැගෙන යැම සඳහා බිත්තියක්‌ කඩා දමා ඇති අයුරු අපට පෙන්වූයේ ටී, චිත්‍රාණි (46) මහත්මියයි. රැය ගෙවන්නට සිදුව ඇත්තේ මර බයෙන් යෑයි ද ඇය කීවාය.

ගම්වදින අලින් සිදු කරන අතවර සුළුපටු නොවන බව එම ගම්බිම් වෙත ගිය ගමනේදී මනාව පැහැදිලි විය. තම වාසභූමිවලින් නික්‌ම අලි, ගම්මානවලට කඩා වදිනුයේ උග්‍ර ආහාර හිඟය නිසා බවයි ගම්වාසීන් අපට කියා සිටියේ. එහෙත් තමන්ද එදා වේල සොයා ගන්නේ ඉතාමත් දුක්‌ මහන්සියෙන් බව ගම්මුන් අප සමඟ පැවැසූහ.

16 දා පස්‌වරු 6.45 ට පමණ මනම්පිටිය නගරයේ දුම්රිය පළ ඉදිරිපිට පිහිටි නිවසකට එල්ල වූ වල් අලි ප්‍රහාරයකින් එම නිවස මුළුමනින් ම විනාශ වී ගොස්‌ තිබෙන අයුරු පසුදා අලුයම එහි ගිය අපට දැක ගතහැකි විය. නිවසේ හිමිකරු වන එස්‌. නන්දසේන මහතා (46) අපට පැවසුවේ තම නිවස රුපියල් ලක්‍ෂ 15 ක්‌ පමණ වටිනා එකක්‌ බවයි.

"මේක මට දරාගන්න පුළුවන් පාඩුවක්‌ නොවෙයි. මුළු ජීවිත කාලෙම දුක්‌ මහන්සිවෙලා තමයි මේ ගෙදර හදා ගත්තේ. මට දරුවො දෙන්නෙක්‌ ඉන්නවා. බිරිඳ නෑ. මේ සිද්ධිය වෙනකොට මමයි මගේ දරුවො දෙන්නයි නංගිලාගෙ ගෙදරයි හිටියේ. එහෙම හිටපු නිසා අපේ ජීවිත බේරුණා. නැත්නම් අලියා ගේ කඩන වෙලේ අපිවත් ඒකට යටවෙලා මැරිලා යාවි."

මෙදින රාත්‍රියේ මනම්පිටිය, මාගංතොට ගම්මානයේද ගෙවල් 02 ක්‌ අලින් විසින් කඩා දමා ඇති බව ද අපට දැන ගන්නට ලැබිණි.

අලින් ගම්මානවලට කඩා වැදීම සහ එසේ පැමිණ ගෙවල් කඩා බිඳ දැමීම විශාල වශයෙන් වැඩි වී ඇති බව එම සෑම ගමකම ජනතාව අප සමඟ කියා සිටියහ. වෙනදාට ගම් වදින අලින් පහසුවෙන් පලවා හැරිය ද දැන් එම කටයුත්තද පහසු නැතැයි ගම්වැසියයෝ පෙන්වා දෙති. ඔවුන් කියා සිටිනුයේ අලි ගම්වැදීමේ කාරණයට නිසි පිළියමක්‌ නොකළහොත් තමන්ට ගම් අතහැර යැමට සිදුවන බවයි. එහෙයින් විදුලි වැටක්‌ හෝ නොපමාව ඉදිකර දෙන්නැයි එම ජනතාව අදාළ වගකිවයුතු අංශ වෙතින් ඉල්ලා සිටිති.

මනම්පිටියේ දිනෙන් දින උග්‍ර වන අලි හිරිහැරය සුළුපටු ප්‍රශ්නයක්‌ නොවන බව එම ගම් බිම් වෙත ගිය ගමනේදී අපට ද මනාව පැහැදිලි වූ තත්ත්වයකි. ඉහතින් ද සඳහන් කළ ලෙසින් ඉමහත් දුකසේ එදා වේල සරිකර ගන්නා අහිංසක දිළිඳු ජනයාගේ හිස මතට අලි බර ද පැටවී තිබේ. එසේ නමුදු අලි ගම් වදින්නේ ද නිකම් නොවන බව විමසිල්ලෙන් සොයා බැලීමේදී අනාවරණය විය. මෙම කාරණය සම්බන්ධයෙන් මැදහත් විමසුමක යෙදෙන වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය නම්, තනතුරු ආදි අනන්‍යතාවන් හෙළිදරව් කරන්නට අකමැතිය. එහෙත් ඔවුන් පෙන්වා දෙන්නේ අලින්ගේ වාසභූමි ඇතැම් බලවතුන් පිරිසක්‌ විසින් ගොදුරු කර ගනිමින් තිබීම මෙම අර්බුදයට මුල් වී තිබෙන බවය. මනම්පිටිය සහ ඒ අවට ගම්මානවලට කඩාවදින අලින්ගේ ආසන්නතම වාසභූමිය ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයයි. එය අලි ඇතුන් ප්‍රමුඛ වන සතුන් සඳහා නිල වශයෙන්ම වෙන් කරන ලද්දේ රජයේ ගැසට්‌ පත්‍රයක්‌ මගින් අදින් දශක දෙකහමාරකට පමණ ඉහතදී ය. එහෙත් අද එහි අලි ඇතුන්ට තබා කුරා කූඹියෙකුටවත් ඉන්නට බැරි අවාසනාවන්ත තත්ත්වයක්‌ උද්ගතව තිබේ. එයට හේතුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ මනම්පිටිය ප්‍රදේශය ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක්‌ බවට පත්ව තිබීමයි. වනෝද්‍යානය මැදින් ගලා බස්‌නා මහවැලි ගඟේ වැලි ගොඩ දැමීම බොහෝ කලක සිට සිදුවන්නේ මහා පරිමාණයෙනි. දැන් එය දිනෙන් දින වැඩි වෙමින් පවතී. දිනකට මනම්පිටිය පාලම අසලින් පිටමං කෙරෙන වැලි, ටිපර් ලොරි රථ ගණන 1200 කට අධිකය. වැලි පැටවෙන්නේ බැකෝ බුල්ඩෝසර් වැනි යන්ත්‍රවල උදව්වෙනි. මේවායේ කඨෝර නාදයන්, වන උයනේ සෑම තරාතිරමකම සත්ත්ව ප්‍රජාවට මෙන්ම ගහ කොළට ද තර්ජනයක්‌ බව අමුතුවෙන් කිව යුතු නොවනු ඇත. එසේ වුවද ජාතික වනෝද්‍යානය වන සතුන්ගේ උරුමයක්‌ ලෙසට නීතියෙන් වෙන් කෙරුණේ රජයේ ගැසට්‌ පත්‍රයකින් තබා කැලෑ පත්තරයකින් තරමට වත් නොසලකන තත්ත්වයකට පත්ව තිබේ. දැන් මෙහි කිරුළු පැලැන්දොa වැලි ජාවාරම්කරුවෝ ය. ගඩොල් ජාවාරම්කරුවෝය. ඔවුන්ව පාලනය කරන්නට රටේ ඉහළම තැනට පවා නොහැකි වී තිබේ.

අදින් වසර 1 1/2 කට පමණ ඉහතදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පොලොන්නරුවට පැමිණ රාජ්‍ය විචාරන විටෙක ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය තුළ මහවැලි ගඟේ වැලි ගොඩ දැමීමේ මහා පරිමාණ ක්‍රියාවලිය එහි පරිසරයට පමණක්‌ නොව ජන ජීවිතවලට ද තර්ජනයක්‌ වී තිබෙන බව දැන ගත හැකි විය. මහමඟ සිදුවන වැලි පටවාගත් ටිපර් රථවලින් සිදුවන අනතුරු හේතුවෙන් අහිංසක ජීවිත විශාල ප්‍රමාණයක්‌ අකාලයේ විනාශ වී තිබෙන බව ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ දිස්‌ත්‍රික්‌ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි. එක්‌තරා සමාගමක මෙහෙයෑවීමෙන් සිදු කෙරෙන මෙම මහා පරිමාණ වැලි ජාවාරමෙන් රජයට හෝ දිස්‌ත්‍රික්‌කයට සිදුවන වාසියක්‌ නැතැයි ද ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. මනම්පිටියේ වැලි ජාවාරම නවත්වන්නට පියවර ගන්නැයි ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස්‌ දුන්නේ එම මොහොතේදීමය. ජනපති නියමය ක්‍රියාවට නැංවී වැලි ජාවාරම වහා නැවතුණේය. එහෙත් ඒ දිගු කලකට නම් නොවේ. එක්‌ සතියකට පමණි. ජනාධිපති නියෝගය ද යටපත් කරගෙන ඊළඟ සතියේ වැලි ගොඩදැමීම, ප්‍රවාහනය, මහා පරිමාණයෙන්ම ඇරඹුණේය. ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ අලි ඇතුන් ඇතුළු වන සතුන් වැලි ජාවාරම්කරුවන්ට පැරදුණේය. උන්ගේ අයිතිය දිනා දෙන්නට රටේ උත්තරීතර නායකයාට ද නොහැකි වීම අවාසනාවන්ත තත්ත්වයකි. එය වන සතුන්ගේ ද අභාග්‍යයකි.

මනම්පිටිය සහ ඒ අවට ගම්වල ජනයා භුක්‌ති විඳිනුයේ එම අභාග්‍ය සම්පන්න තත්ත්වයේ අතුරු ප්‍රතිඵලයන් බව පෙන්වා දිය යුතුය. මේ කාරණයේදී අවිහිංසක ගම්වැසියන් අසරණ බව අවිවාදිතය. චෝදනා ගොනු වී තිබෙන අලින්ද සැබෑවටම අසරණ බැව් ලියා තැබිය යුතුය. ගම්වැදී අහරක්‌ සොයා යන ගමනේදී කෙරෙන පළවාහැරීම්වලට හසුව ඉබාගාතේ ගොස්‌ කෝච්චිවලට හැපී අකාලයේ මිය යන අලි ඇතුන් ද බොහෝ බැව් අප අමතක කළ යුතු නැත. එමෙන්ම වෙනත් මර උගුල් වලට ද හසු වී තවත් පිරිසක්‌ නොකල්හි මිය ඇදෙති. මේ සියලු ව්‍යසනයන්ට වගකිවයුතු අපරාධකරුවන් ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ රිසි ලෙස හා සුපුරුදු පරිද්දෙන් වැනසුම සිදු කරති. අලින්ගේ නිජබිමේ නීතිය වල් වැදී අපරාධ නීතිගතව තිබෙන විට අලි ගම්වැදී කරන මෙම අතවර කිසිසේත්ම අරුම නොවේ.

කරුණාරත්න ගමගේ

Courtesy - http://www.divaina.com/2011/11/07/feature02.html

No comments:

Post a Comment