Saturday, November 5, 2011

සමූපයේ පනස් දහසකට රාජ්‍ය සේවක වරප්‍රසාද: සමූප සේවක ආයතන සංග්‍රහය එළි දැක්වේ

වසර 100කට පසු රැකියා සුරක්ෂිතයි

විජයානි එදිරිසිංහ

සමූපකාර ක්ෂේත්‍රයේ නියුතු පනස්දහසකට වැඩි සේවක සේවිකාවන්ගේ රැකියා නීත්‍යානුකූලභාවයට පත් කරමින් ඔවුන්ට රජයේ සේවකයන්ට හා සමාන අයිතිවාසිකම් ලබා දීමට රජය පියවරගෙන තිබේ.

එම අයිතිවාසිකම් ඇතුළත් සමූපකාර සේවක ආයතන සංග්‍රහය ඊයේ (03) සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී එළිදැක්විණි.

සමූපකාර ව්‍යාපාරය නීතිගතකොට වසර සියයක් සපිරෙයි. එහෙත් සමූපකාර සේවකයන් වෙනුවෙන් එතෙක් කාලයක් බලයේ සිටි කිසිදු රජයක් ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කිරීමට පියවර ගෙන නොතිබිණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමූපකාර ව්‍යාපාරය ගොඩනඟා රටේ දැවැන්තම ව්‍යාපාරය කිරීමට කටයුතු කරයි. එහි ප්‍රධාන කර්තව්‍යයක් ලෙස එහි සේවකයන්ගේ රැකියා නීත්‍යානුකූලභාවයට පත් කර ඇත.

1972 අංක 12 දරන සමූපකාර කොමිෂන් සභා පනතේ 32(2) සමූපකාර ආයතන සංග්‍රහය නිකුත් වී ඇත.

සමූපකාර සේවකයන්ට මෙතෙක් කාලයක් හිමි වී තිබුණේ විසිරී ගිය නීති පද්ධතියකි. 1972 සමූපකාර පනත 1989 සංශෝධනය කිරීමෙන් පසු සමූපකාර සේවකයා වෙනුවෙන් පිළිගත හැකි නීති පද්ධතියක් නොතිබුණි. චක්‍රලේඛවලින් පමණක් නීතිය ක්‍රියාත්මක වී තිබේ. නව ආයතන සංග්‍රහය යටතේ සමූපකාර සේවකයන් බඳවා ගැනීම, උසස් කිරීම, මාරු කිරීම / විශ්‍රාම යාම, පාරිතෝෂික ලබාදීම දූෂණ වංචාවල යෙදෙන්නන්ට එරෙහිව ක්‍රියා කිරීම ඇතුළු සියලු කටයුතු සිදු කෙරේ.වසර සියයක් තිස්සේ විසිරී තිබූ සියලු නීති රීති එක්තැන් කරමින් සමූපකාර කොමිෂන් සභාව ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම ආයතන සංග්‍රහය සකස් කර තිබේ.

මෙම නව අයිතිවාසිකම් පද්ධතිය හරහා ලක්ෂ 80 ක සමූපකාර සාමාජිකයන්ගේ අයිතිවාසිකම් වලටද වක්‍රානුකූලව ආරක්ෂිත තත්ත්වයක් හිමිවෙයි. සමූපකාර ව්‍යාපාරය සතු කෝටි ගණන් දේපොල සොරකම් කර එම ව්‍යාපාරය බිඳහෙළූ පසුගිය කාලයේ බලයේ සිටි බලවතුන්ට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමට නොහැකි වූයේ මෙවැනි පිළිගත හැකි නීති පද්ධතියක් නොතිබූ නිසා ය.

සමූපකාර ව්‍යාපාරය ගොඩගැනීමට අවශ්‍ය නිසා ඔවුන් ලබාගෙන තිබූ කෝටි ගණනක ණය මුදල් කපා හැරි බවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය.


http://www.dinamina.lk/2011/11/04/_art.asp?fn=n1111041

No comments:

Post a Comment