අමල් උඩවත්ත
ඔක්‌තෝබර් 29 වැනි දින කැකිරාව කයිලපොතාන හා තිබ්බටුවැව යන ප්‍රදේශවල සැරිසැරූ දළ ඇතකු කැකිරාව-දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් වාහන වාහනවලට පහර දී අලාභ හානි සිදු කළේ ය. මේ අතර කලබල වූ ජනතාව ඇතා මරා දමන ලෙස පොලීසියෙන් කළ ඉල්ලීම හේතුවෙන් පොලීසිය සහ ප්‍රදේශවාසීන් අතරත් නොසන්සුන්තාවක් හටගත් අතර වනජීවී නිලධාරීන් පැමිණීමෙන් පසු තත්ත්වය සමනයට පත් විය.
මේ සිද්ධිය සම්බන්ධව නොවැම්බර් 01 වැනි දින වන ජීවී අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක්‌වූ අමාත්‍යවරයා "මේ ඇතා ඇස් අන්ධ වූ සද්දන්ත දළ පූට්‌ටුවෙක්. වටිනා ඇතෙක්, ඇස් දෙකෙන් එකක් සම්පූර්ණයෙන් ම පෙනෙන්නේ නෑ. අනෙක් ඇසෙත් පෙනීම දුර්වලයි. වෙඩි වැදීම නිසා ඇස් අන්ධ වෙලා. ඒ වගේ ම ශරීරයේ තුවාල රාශියක් තිබෙනවා. ඒ තුවාලවල වේදනාව අධික නිසයි සැම තැන ම ඇවිදින්නේ. මේ ඇතාට උදව් කරන්න තවත් සහායක අලියෙක් හිටිය. ඒ සතා වත් ළඟ දී වෙඩි තියල මරා දැමීමෙන් මේ ඇතා තනි වෙලා ඉබාගාතේ යනවා.
ගම් වැසියෝ පලතුරු වැනි ආහාර දීම නිසා ඌ ගමට පුරුදු වෙලා. ගමේ මිනිසුන්ට හිරිහැරයක් නෑ. මට විශේෂයෙන් කියන්න ඕන කරන්නේ, (මේ සිද්ධියේ දී එහෙම නූනත්) අලින් ගෙන් බැට කන, පීඩා විඳින ගමේ මිනිස්‌සු ම තමයි, අනතුරට ලක් වන මෙවැනි අලින් බේරා ගන්න ඉදිරියට එන්නේ කියන එක. මේක ගමේ මිනිසුන් ගේ සත්ත්ව කරුණාව පෙන්වන ප්‍රධාන ලක්‌ෂණයක්. මහමඟ ගමන් කරද්දී ඇස් නො පෙනෙන නිසයි වාහනවල හැපුණේ. ඇතා වාහනවලට පහර දුන් බව ඇත්ත. ඒ දේ වුණේ මිනිසුන් ගේ වරදින්. ඇතාට නිසොල්මනේ යන්න ඉඩ දුන්නා නම් සවස වන විට කැළේට යනවා. මේ වන විට ඇතා වන ජීවී නිලධාරීන් ගේ ප්‍රතිකාර ලබමිනුයි සිටින්නේ.
මේ ඇතා ගේ ශරීරයේ තිබෙන තුවාල හා ගෙඩි දිහා බලන විට මට පෙනී යන දෙයක් තමයි ඇතා ගේ දළ දෙක ලබා ගන්න ඌව මරන්න උත්සාහ අරගෙන තිබෙන බව. කොහොම වුණත් ප්‍රතිකාරවලින් ඇතා ගේ ජීවිතය බේරාගෙන ජීවිතය තිබෙන තුරු ආරක්‌ෂා කිරීම අපේ යුතුකමක්" යනුවෙන් පැවසී ය. ඉහත ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ අන්ධ වූ දළ පූට්‌ටු ඇතා සහ ඌ මහමඟ ගමන් ගත් ආකාරයයි.
ඡායාරූපය : පූර්ණමාල් ජයමාන්න හා සුදත් ඒකනායක
http://www.vidusara.com/2011/11/09/news1.html
No comments:
Post a Comment