Sunday, December 18, 2011

දැයට කිරුළ - අනුරපුරය මහ පාරට අලි වැටට රු. මිලියන 5000 ක්

නිහාල් පී. අබේසිංහ

අනුරාධපුරය ඔයාමඩුව ප්‍රදේශයේ පවත්වන 2012 දැයට කිරුළ වැඩසටහන වෙනුවෙන් නව කාපට් මාර්ග කිලෝ මීටර් 100 ක් හා නව අලිවිදුලි වැට කිලෝ මීටර් 100 ක් අලුතින් ඉදිකරන බවත් ඒ සඳහා රුපියල් දස ලක්ෂ 5000 ක් පමණ වැයවන බවත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා වන ජීවී හා ගොවිජන සේවා අමාත්‍යාංශය පවසයි.

මේ යටතේ අනුරාධපුරය – ඔයාමඩුව මාර්ගයත්, ඔයාමඩුව - තන්තිරිමලේ සෙට්ටිකුලම මාර්ගයට ඔයාමඩුව රණේරුව පුත්තලම මාර්ගයත් කාපට් අතුරා සංවර්ධනය කෙරෙන බව මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් එන්.එම්.එන්.ආර්.පී. නවරත්න මහතා පවසයි.

මීට අමතරව දැයට කිරුළ යටතේ අනුරාධපුරය හා මිහින්තලේ මාර්ග පද්ධතියද නවීකරණය කෙරේ.

සැතපුම් 100 ක් දුරට විදුලිවැට ගසනු ලබන්නේ හුණුවිලගම සිට මල්වතු ඔය දක්වා වූ කිලෝමීටර් 100 ක ප්‍රදේශයේ බව වනජීවී හා ගොවිජන සේවා අමාත්‍යාංශය කියයි.

මෙවර දැයට කිරුළ ප්‍රදර්ශනය අනුරාධපුරය දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඔයාමඩුව ප්‍රදේශයේ පිහිටි ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් අක්කර 2600 ක විශාල භූමි භාගයක පැවැත්වේ. මෙහි අක්කර 200 ක ප්‍රදේශයට ගොවිපළක් ද අක්කර 100 ක වගාවක් ද අක්කර 100 ක පොල් වගාවක් ද වේ.

දැනටමත් දැයට කිරුළ වැඩසටහනේ ආරම්භ කර ඇති ප්‍රදර්ශන භූමියේ ඇති වැව් 5 ක් ද ප්‍රතිසංස්කරණය කෙරේ.

මීට අමතරව විල්පත්තුව ජාතික වන උයනේ අලුත් වැව් 15 ක් ඉදිකරන බවත් කිලෝමීටර් 35 ක් දුරට තන්තිරිමලේ විලච්චිය මාර්ගය සංවර්ධනය කෙරෙන බවත් විල්පත්තුව වන උයනේ සියලු මාර්ග නවීකරණය කෙරෙන බවත් වනජීවී හා ගොවිජන සේවා ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

ඊට අමතරව විල්පත්තුව වන උයනට නව පිවිසුම් දොරටු දෙකක් තන්තිරිමලේ හා විලච්චිය ප්‍රදේශවල ඉදිකරන බවත් විල්පත්තුව වන උයන ඇතුළත නව සංචාරක බංගලා 11 ක් අලුතින් ඉදිකරන බවත් ඇමැතිවරයා කීය.


http://www.silumina.lk/2011/12/18/_art.asp?fn=aa11121812

No comments:

Post a Comment