Sunday, December 18, 2011

අලි වැටට කොටු වී ජීවිතේ යදින මහරත්මලේ ඇත්තෝ

වේලාව සවස හය පසු වී ඇතැයි සිතෙන තරමට හාත්පස මද අඳුරක සේයා පැතිරී ඇත. අවට ගහකොළ පිස හමන සුළඟ ය. අප මේ පසු කරමින් සිටින්නේ හබරණ වංගුවයි. එක්වරම අපට ඉදිරියෙන් ගමන් කළ රථය නතර වූයේ ය. රියදුරු දසනායක ද අප ගමන් කළ රථය එක්වරම නතර කළේ ය. ඈතින් පේන පාරේ එක සීරුවට වාහන කිහිපයක් ම නිසොල්මනේ තිබේ. පාරේ කිසිදු හඬක් නැත.

සද්ධන්තයෙක් සෙමෙන් සෙමෙන් හබරණ පොළොන්නරුව පාර මාරුවෙයි. කිසිවෙකුගෙන් හෝ සද්ධන්තයාට බාධාවක් නැත. තාර පාර පියමන් කර කැලෑවට යෑමට ඌට ඇත්තේ තවත් අඩි කිහිපයක් පමණි.

එක්වරම නළාව හඬවමින් යතුරු පැදියකින් පැමිණි කමකට නැති කොල්ලන් දෙදෙනෙක් වන අලියාට ද කෝචොක් කර ඉදිරියට ඇදෙති. තමන්ගේ පාඩුවේ තම ගමන යන්නට ගිය අලියා කිපුණේ ය. ඌ දඩබ්බර කොල්ලන් දෙදෙනා පසුපස මහ පාරේ මදක් පැන්නුවේ ය. වාහන එකින් එක පිටුපසට ඇදෙයි. කොල්ලෝ ගියෝ ය. අලියා නැවතත් නිසොල්මනේ කැලෑ බඳ පෙදෙසට ගමන් කළේ ය. එහෙත් වාහන ගමන් කරන්නේ නැත. විනාඩි විස්සකට වඩා ගත වී ගියේ ය. හඬ නොනැඟෙන සේ දෙපස වාහන සෙමෙන් ඉදිරියට ඇදෙයි.

වන අලියා කැලෑවට නොගොස් ගස් අතර සැඟවී මහ මඟ දෙස බලා සිටී. අප ගමන් ගත් වාහනය අලියා පසුකර මද දුරක් ආවේ ය. ඉහළට ගත් හුස්ම පහළට වැටුණේ ඉන්පසුව ය. එහෙත් හිතේ ඇති වූ තිගැස්ම එසේම ය. ඈතින් පෙනෙන ගස් අතරින් මින්නේරිය ජලාශය සේයාවක් ව පෙනෙයි. මින්නේරිය දුම්රිය පොළ අසලින් අපි වමට හැරුණෙමු. එතැනට ඇතමෙකු කියන්නේ දැව සංස්ථා හන්දිය කියා ය. තවකෙකු කියන්නේ ස්ටේෂන් හන්දිය කියා ය.

එතැන් සිට මහරත්මලේ ගමට යෑමට අපට මඟ පෙන්වන්නට අබ්දුල් කේ. සාදිකීන් මිතුරා පැමිණ සිටියේ ය. ඔහු රැගත් මෝටර් සයිකලය රොටවැව පාරේ ඉදිරියට ඇදෙයි. රොටවැව පාරේ කිලෝමීටර් තුන හතරක් ගිය තැන දී හමුවන්නේ මහර කොත්මලේ ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයයි. පන්සල අඳුරේ ගිලී ඇත. මහ මඟ ද අඳුරේ ය. දෙපස කැලෑව අන්ධකාරය.

“මේ පාරේ දිගටම ගියහම වැටෙන්නේ හබරණ ත්‍රිකුණාමල පාරට. ඉස්සර වගෙ නෙමෙයි හුඟක් අය දැන් මේ පාර භාවිතා කරනවා. රෑ වෙනකොට පාරේ කැලේ සතා ගැවසෙනවා. බය වෙන්න කාරි නැහැ. මේ හරියේ අලිවැට තියෙනවා. ඒත් ඉතින් අලි වැටෙන් එහාට නම් වගකියන්න අමාරුයි.”

මහරත්මලේ ආනන්දාරාමයේ විහාරාධිපති මහරවෙල ආනන්ද හිමියෝ ගමෙහි තත්ත්වය යම් තරමකට පැහැදිලි කරමින් කීහ.

මහරවෙල ආනන්ද හිමි 

“එහෙම කිව්වට බය වෙන්න එපා. අලි ඇත්තුන්ගෙන් අපිට කරදරයක් වෙන්නේ අපි උන්ට හිරිහැර කළොත් පමණයි. මේ ගමට වන අලි කරදර තියෙනවා. ඉඳලා හිටලා අපටත් අලි ගහලා මැරුණ අයගෙ පාංශු කූල කටයුතුවලට වඩින්න අවස්ථාව ලැබිලා තියෙනවා. සමහර මරණ දිහා බැලුවම හිතෙනවා ඒ අය ජීවත්වෙලා ඉන්දැද්දී ගත කරපු ජීවිතවලට දඬුවමක් ද මේ ලැබිලා තියෙන්නේ කියලා. අපිට අලිවැට ලැබුණේ ළඟදි. ඒත් අලිවැට ලැබෙන්න පෙර, ඒකාලේ පන්සල මෙච්චර හදලා තිබුණෙත් නැහැ. පන්සල ආසන්නයට ම අලි එනවා. එක දවසක් අලියෙක් ඇවිත් බෝධියේ අතු කඩනවා. මං බලනකොට බෝධීන් වහන්සෙගෙ හොඳම අත්තකට අලියා හොඬ වැල තියාගෙන ඉන්නවා. කඩන්න ඔන්න මෙන්න. මම දොර ඇරගෙන එළියට ඇවිත් කිව්වා “රාජා ඔය වැඩේ නම් හරි නැහැ. ඕක කැඩුවොත් නම් බෝධින් වහන්සේ පාළුවේවි.”

ටික වෙලාවකින් අලියා අත්තට දාලා තිබුණ හොඬය පහතට අරගෙන වටේට වෙලා ඉඳලා වතුර ටැංකිය ළඟට ගිහිල්ලා වතුර බීලා යන්න ගියා. මං මේ ගමට ඇවිත් අවුරුදු විස්සක් විතර වෙනවා. ගමේ ඇත්තෝ ගඩොල් කර්මාන්තය කරගෙන බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ”


සිසිර හා රම්‍යා

අලුත් දවසකට ඉර පායා ඇත. අවට ගහ කොළ දුහුවිල්ලෙන් වැසීගොස් ය. මාස ගණනාවකින් වැසි නො ලද බිම ඇත්තේ කාෂ්ටක බවකි. උදෑසනම වුව ද පරිසරයේ ඇත්තේ දැරිය නොහැකි අව් රස්නයකි. පෑවිල්ලට හසු වී තිබුණ ද රැයෙහි නොපෙනුණු ද මහරත්මලේ ගමේ සොඳුරු බව හා කටුක බව මනාව පෙනෙන්නට වූයේ හිරු උදා වූ පසුව ය.

තැනෙක ඇත්තේ කටු මැටි වරිච්චි බිත්තියෙන් ද පොල් අතු සෙවිලි කිරීමෙන් ද සාදාගත් නිවෙස් ය. තවත් තැනෙක ඇත්තේ බාගෙට ඉදිවන නිවාස. නිවෙස් දෙකක් අතර පරතරය මීටර් සීයක් එකසිය පනහක් පමණ වේ. වාහනයකින් යා නොහැකි ගුරු පාරේ අපි පා ගමනින් යන්නට වුණෙමු. අපට මඟ පෙන්වන්නට ආනන්ද හිමියෝ ඉදිරියෙන් වැඩියහ.

ගරා වැටුණ වරිච්චි බිත්තියෙන් බැඳි නිවෙසක් ඉදිරිපිට නතර වූ ස්වාමින් වහන්සේ කුඩා දරුවන් ඇමතූහ.

අම්මාත් තාත්තාත් කුලියට ගඩොල් කපන්නට ගිය පසු නිවසෙහි නතර වූයේ අක්කා අයියා හා නංගි පමණි. ඇය චතුරිකා. මින්නේරිය නාගලකන්ද පාසලේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය. දරිද්‍රතාවයේ උපරිමයෙන් පෙළෙන ඔවුහු දුක නිවා ජීවිතය ජය ගැනීමට උනන්දු වන්නෝ ය. චතුරිකා දොළොස් හැවිරිදි ය.




“අපේ අම්මයි තාත්තයි දෙන්නම කරන්නේ ගඩොල් කපන රස්සාව. අම්මයි තාත්තයි ගෙදර එනකොට මම රෑට උයන්න ලෑස්ති කරලා තියෙනවා. අම්මා එනකොට බත් උයලා තියෙනවා. අපිට ලයිට් නැහැ. ගේ හදාගන්න අත්තිවාරම දාලා තියෙන්නේ. ඒත් අම්මටයි තාත්තටයි ගඩොල් කපලා මේ ඔක්කෝම කරන්න බැහැ.”

නිවෙස බඩු භාණ්ඩවලින් සරුසාර නොවුවද ඔවුහු ඒ අතු පැලේ ජීවත් වෙති. කෙසේ හෝ අම්මාගේ තාත්තාගේ අරමුණු සඵල කරවීමට මේ අක්කා නගෝලා ඉගෙනීමට වෙහෙසෙති.

මහ රත්මලේ ගමට අලිවැට ලැබී වසර දෙකක්වත් ගත වී නැත. අලි වැට ලැබෙන්නට පෙර මින්නේරිය වැව්පිටියෙන් එන අලින්ගෙන් ද කවුඩුළු රක්ෂිතයෙන් එන අලින්ගෙන් ද ගමට විශාල තර්ජනයක් තිබිණි. අලියාගෙන් බේරා ගැනීමට නොහැකි නිසා ගම්මු ගොඩ මඩ ගොවිතැන අත්හැර දැමූහ. එහෙත් ආනන්ද හිමියෝ හා ගම්වැසියෝ අදාළ බලධාරීන්ට නිතර දෙවේලේ අලි වැටක් ඉල්ලා කළ කරදරය සඵල වීමෙන් පසු ඔවුහු නැවත වගා කරන්නට පටන් ගත්හ.


චතුරිකාගේ නිවස හා ඇගේ නැඟණිය

“මේ පාර මේ ගමේ දාසය දෙනෙක් කුඹුරු කරලා තියෙනවා. ගමට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි වතුර නැතිකම. යල කන්නයට කුඹුරු ගොවිතැන් කරනවා. මාස් කන්නයට බඩඉරිඟු ආදිය වගා කරනවා. අද නම් අහස හොඳට මන්දාරම් කරලා තියෙනවා. ඒත් මේ පළාතට වහින්නේ ඔක්තෝබර් මාසෙට. ගමේ අයට ප්‍රශ්න හුඟක් තියෙනවා. වඳුරන්ගෙන් රිලවුන්ගෙන් බේරිල්ලක් නැහැ. කිසිම දෙයක් වගා කරන්න බැහැ. කනවා. ඉස්සර ගමේ ළමයෙක්ට උදේට ඉස්කෝලේ යන්න බැහැ. උදේ හත අට වෙනතුරු පාරේ අලි ඉන්නවා. මේ ගමේ අලියගෙන් කරදර වෙලා හත් අට දෙනෙක් ම මැරිලා තියෙනවා.”

එදිරිසිංහ ගමේ තොරතුරු අප හා පැවසුවේ ය. ඔහු හතළිස් අට හැවිරිදි ය. මුල් කාලයේ ගඩොල් කැපීම සිය රැකියාව කරගත් ඔහු අද ජීවිතය ගෙන යන්නේ බොහෝ ආර්ථික අපහසුතා මධ්‍යයේ ය. සැත්කමකට ලක්වී සිටින ඔහුට මසකට ඖෂධ ප්‍රතිකාර සඳහා රුපියල් හය දහසක් පමණ වැයවේ.

මහරත්මලේ ගමේ වෙසෙන බහුතරය ආර්ථික දුෂ්කරතාවලට ලක්වූවන් ය. ඔවුන්ට ඇති ප්‍රධානම ගැටලුව ජලය නොමැතිකමය.

“අපිට වගාකරන්නවත් වතුර නැහැ. ගඩොල් කපන අය ටිපර්වලට වැවෙන් වතුර පුරවගෙන එනවා. පොම්ප ක්‍රමයටවත් අපට වතුර ලබාදෙනව නම් ලොකු දෙයක්. වහින කාලෙට ගඩොල් කපන්න බැහැ. වේලගන්න අමාරු නිසා. ඒකාලෙට නම් ආදායමක් ඇත්තෙම නැහැ. ලොරිවලින් එනවා ගඩොල් ගෙනියන්න. අපෙන් ගලක් ගන්නේ රුපියල් හතරයි පනහට විතර. ඒත් ඒගොල්ලෝ ගෙනිහිල්ලා රුපියල් දහයට එකොළහට විකුණනවා. මේකෙන් අපට ලාභයක් ලබන්න බැහැ. ගඩොල් පුච්චන්න පෝරණුවලට දර ගන්නෙත් සල්ලිවලට. සමහර කාලවලට මුදලාලිලා අපෙන් ගඩොල් කැටේ රුපියල් තුනයි පනහටත් ගන්නවා.” කාලයක් තිස්සේ ගඩොල් කර්මාන්තයේ නියැළෙන සිසිර හා රම්‍යා පවසති.

හිරු මුදුන් වූ විට මහරත්මල් ගම් ගොඩැල්ලේ ඇවිදීම වෙහෙසකරය. හෙවණකට කියා ඇත්තේ කොහොඹ ගස් පමණි. අඹමල් අඹ ගැට පිරුණ අඹ ගස්වල සිටින්නේ මී මැස්සෝ නොව කිසිදු අංගපුලාවකට නැති රිලා රැලකි. උන් කැට පෝලයට හෝ රතිඤ්ඤා කරලක හඬකට බිය වන්නේ නැත.


ගඩොල් කපන මහරත්මලේ ගැමියෝ

එක්කෙනෙක් ගෙන් දෙන්නෙකුගෙන් පමණක් නොව මහරත්මලේ බහුතරයකට කීමට ඇත්තේ ඔවුන්ට ඇති දුෂ්කරතා ආර්ථික අපහසුතා පිළිබඳව ම ය. එහෙත් ඔවුන්ට කාලයක් තිස්සේ තිබූ ලොකුම ප්‍රශ්නය දැන් මදකට විසදී ඇත. වන අලින්ගෙන් තිබූ ජීවිත හානිය හා දේපළ හානිය පිළිබඳව තර්ජනයට ආනන්ද හිමියෝ ගමේ ආගමික වැඩවලට පමණක් නොව ගම්මුන් සමඟ බෙහෙවින් ළෙන්ගතුව සිටින්නාහ. උන්වහන්සේ ගැමියන්ගේ සුවදුක් සොයා බලන අතරම ඔවුන්ගේ ජීවිත යහමඟට ගැනීමට ද නිරන්තරවම උපදෙස් ලබාදෙන්නාහ.

“මේ අලි වැටෙන් එහා පැත්තේ තියෙන්නේ කවුඩුළු රක්ෂිතය. උදේ හය වෙනකොට මම අලි වැටේ කරන්ට් එක ඕෆ් කරනවා. ස්වීච් එක තියෙන්නේ පන්සලේ. යම් යම් අයගේ ආධාර ලැබිලා පන්සල හැදෙනවා. ඒත් මම කැමැතියි කාගෙ කාගෙත් ඇස් ඇරෙනව නම් මේ ගම දිහාට. ආර්ථික දුෂ්කරතා නිසා ගමේ දරුවන්ට ඉගෙන ගන්න අමාරුයි.”

කුඩා සාමණේර හිමි නමකට ද පිය සෙනෙහසින් රැකවරණය ලබාදෙන ආනන්ද හිමියෝ ගැමියන් ගැන කතා කරන්නේ කනගාටුවෙනි.

විශේෂ ස්තුතිය - බෝගනදමන අබ්දුල් කෝ සාදිකීන් මහතාට.

ඉනෝකා සමරවික්‍රම

ඡායාරූප - විමල් කරුණාතිලක

http://www.silumina.lk/2011/12/18/_art.asp?fn=as1112181

No comments:

Post a Comment