Sunday, December 4, 2011

‘බෝතල් වතුරට වඩා උණුකර නිවාගත් ජලය හොඳයි’

සාගරිකා දිසානායක

ජාතික ජල සුරක්ෂිතතා සතිය දෙසැම්බර් මස 04 සිට 10 දා දක්වා පැවැත්වේ. ස්වභාවික ජල ප්‍රභව ආරක්ෂා කිරීම සහ පානීය ජල සුරක්ෂිතතාව පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පැවැත්වෙන ජාතික ජල සුරක්ෂිතතා සතියේ මෙවර තේමාව “උල්පතේ සිට පරිභෝජනය දක්වා ජලය සුරකින්නේ කෙසේද?” යන්නයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හතර වැනි වරට පවත්වන ලබන මෙම ජල සුරක්ෂිතතා සතියේදී අගනුවර මෙන් ම දිවයින පුරා විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කැරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය. ඒ නිමිත්තෙන් මේ මස 09 දා පානීය ජලය සුරැකීම පිළිබඳව ජනතාව දැනුවත් කිරිම සඳහා කොළඹ නිදහස් චතුරස්‍රයේ සිට මහවැලි කේන්ද්‍රය දක්වා පාගමනක් පැවැත්වේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද මේ උලෙළේදී මහජනතාවට නොමිලේ සිය ජල සාම්පල පරීක්ෂා කරගැනීම සඳහා ජල සාම්පල පරීක්ෂා කිරීමේ ජංගම සේවාවක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇතැයි වෛද්‍ය මහීපාල මහතා පැවසීය.

මෙවර ජල සුරක්ෂිතතා සතියේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ජනතාවට ලබා දෙන ප්‍රධාන පණිවුඩ අතර යහපත් සෞඛ්‍යයක් සඳහා වඩාත් ම උචිත “උණුකර නිවා ගත් ජලය පානය කිරීම” බවත් බෝතල් කළ ජලය වෙනුවට හැම විටම නිවසේදී උණුකර නිවාගත් වතුර බෝතලයක් රැගෙන යෑමට හුරු පුරුදු වීම වඩාත් ප්‍රඥාගෝචර බව ද” වෛද්‍ය මහීපාල තවදුරටත් පැවසීය.


http://www.silumina.lk/2011/12/04/_art.asp?fn=aa1112046

No comments:

Post a Comment