Friday, December 23, 2011

දේශගුණික විපර්යාස ගැටලුවලට මුහුණදීමට තාක්ෂණ හුවමාරු වැඩසටහන්

- ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා

ශීලා උඩුවර

දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීම හා හරිතාගාර වායුවිමෝචනය අවම කිරීමට අදාළ තාක්ෂණය දියුණුවෙමින් පවතින රටවලට ලබාදීම සඳහා තාක්ෂණ හුවමාරු වැඩපිළිවෙළක් 2012 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ 17වැනි සමුළුවේදී සාකච්ඡාවට ගත් බව පරිසර ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා දේශගුණ විපර්යාස පිළිබඳ තාක්ෂණ මධ්‍යස්ථානය හා තාක්ෂණ ජාලයක් ඇති කිරීමට තීරණය කැරුණු බවද ඇමැතිවරයා කීය.

ඇමැතිවරයා මේ අදහස් පළකළේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර පැවැති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ 17 වැනි සමුළුවේ හා කියකෝ සන්ධානයේ 7 වැනි සමුළුවේදී සාකච්ඡාවට ගැණුනු තීරණ පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා පරිසර අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු ඇමැතිවරුන් තිදෙනෙක් ලේකම්වරුන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත් පළාත් ඇමැතිවරුන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ සමුළුවට ශ්‍රී ලංකාවෙන් සහභාගි වූහ.

පරිසරයේ උණුසුම කිසියම් අගයකින් අඩු කිරීමෙන් දේශගුණ විපර්යාස අවම කිරීමේ ඉලක්කය වෙත ළඟා වන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට ද මෙහිදී තීරණය විණි.

ලෝකයේ අඩුවෙන්ම කාබන් ඩයොක්සයිඩ් මුදාහරින රට ශ්‍රී ලංකාව වන අතර අමෙරිකාව වැනි දියුණු රටවල් තවමත් ඒ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නැති බවත් දැනට සිදුවන ආකාරයට කාබන් ඩයොක්සයිඩ් වායු විමෝචනය සිදු කළහොත් ඉදිරියේදී ලෝකයේ සිතීමට පවා බැරි තරමට ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බවද ඇමැතිවරයා කීය.

මේ සමුළුවේ පළමු ධුර කාලය 2012 වසරේ අවසන් වන අතර දෙවැනි ධුර කාලය සඳහා යුරෝපා සංගමය හා නෝර්වේ රජය ඇතුළු දියුණු රටවල් 35ක් කැමැත්ත පළකළ අතර ජපානය කැනඩාව හා රුසියාව යන රටවල් සංධානයෙන් ඉවත්වන බවට දැනුම්දුන් බව ඇමැතිවරයා කීය.

ඇමැති ධුරකාලය 2013 ජනවාරි 1 සිට 2017 හෝ 2020 දක්වා ක්‍රියාත්මකය.

හරිතාගාර වායු පිටවීම පාලනය කළද දේශගුණ විපර්යාස මගින් ඇතිවූ හා ඇතිවිය හැකි අහිතකර බලපෑම් වලට මුහුණ දීමට මේ වන විට ලෝකයේ සියලුම රටවලට සිදුවී ඇති බව පැවසූ ඇමැතිවරයා අධික නියඟය, අධික වර්ෂාව, ගංවතුර , මුහුදු ජලය වැඩිවීම, නායයාම්, මුහුදු ජලය වැඩිවීම නිසා ගොඩබිම ප්‍රදේශ ජලයෙන් යටවීම ආදී අහිතකර තත්ත්ව ඇතිවන බවත්, එම තත්ත්වයන් අවම කිරීම සඳහා අන්තර්ජාතික සහයෝගිතාවය වැඩි කිරීමට හා විශේෂඥතාවය වැඩිකිරීමට සාකච්ඡා කෙරුණු බවත් සඳහන් කළේය.

වන ගහනය ආරක්ෂා කිරීම හරහා වනාන්තර මගින් කාබන් තිර කිරීම සම්බන්ධවද දියුණු වෙමින් පවතින රටවල හරිතාගාර වායු අවම කිරීම සඳහා මුල්‍ය ප්‍රතිපාදන සපයා දීමට දියුණු රටවල් එකඟ වූ අතර ඒ සම්බන්ධ ඉදිරි කටයුතු ඉටු කිරීමට ද එකඟ වූ බව ඇමැතිවරයා කීය.

ශ්‍රී ලංකාවේ හරිත ලංකා වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද ඇමැතිවරයා සිය කතාවෙන් හෙළිකර ඇත.


http://www.dinamina.lk/2011/12/23/_art.asp?fn=p1112233

No comments:

Post a Comment