Sunday, December 4, 2011

රටේ දියුණුවට සංචාරක කර්මාන්ත යොදා ගැනීම හොඳා... ඒත්...



එළඹ ඇත්තේ මේ වසරේ සංචාරක සමයයි. ඉකුත් සතියේ හත් ලක්‌ෂ පනස්‌දාස්‌ වැනි සංචාරකයා ද අපේ පොළොවට පා තැබීය. දැන් දැන් අපේ රට සොබා සෞන්දර්යය උරා බීමට විදේශීය රසවතුන් වැඩි වැඩියෙන් ඇදී ඒම ඇරඹී ඇති බව පෙනේ. අපට හිඟපාඩු විදේශ විනිමය රැගෙන මෙහි එන විදේශීය සොබා අසිරිය අගයන රසකාමීන් මෙහි රැගෙන එන හැම ඩොලරයක්‌ම. පවුමක්‌ම, ඩොයිෂ්මාර්ක්‌ එකක්‌ම, ලීරා එකක්‌ම හෝ ක්‍රොන් එකක්‌ම හෝ ඉන්දීය රුපියලක්‌ම හෝ වේවා අපේ රට ඇතුළෙහි වැය කරවන්නට සංචාරක කර්මාන්තයේ යෙදී සිටිනා සියලු දෙනා උනන්දු විය යුත්තේ බඹරුන් මල් නොතළා රොන් ගන්නාක්‌ බඳුව බව හොඳින් සිහියේ තබා ගතහොත් එය තමන් උපන් බිමට කරන්නා වූ මිල කළ නොහැකි සේවයක්‌ වනු සහතිකය. වරක්‌ මෙහි සුන්දරත්වය සිත් සේ විඳදරා ගත් විදේශ සංචාරකයකු යළි දෙවන, තුන්වන, හතරවන හෝ ඊට වැඩි වාර ගණනක්‌ පැමිණීමට තරම් ඔවුන්ගේ සිත් සතන් පැහැදෙන අයුරින් සනහා ලන්නට අපේ ඇත්තන් සුහද බැවින් යුතුව සංග්‍රහශීලී වන්නේ නම් එයින් රටට අත්වන වාසිය කෙතරම් දැයි කියා හිතා ගන්නට පවා බැරිවනු ඇත යන්න මගේ පෞද්ගලික විශ්වාසයයි. හැබැයි ඒ වෙනුවෙන් කවර වූ දහජරා වැඩක්‌ වුව අපේ ඇත්තන් කළ යුතුය යුන්න මින් අදහස්‌ නොකෙරේ.



අපට හිඟපාඩු විදේශ විනිමය ලක්‌ෂ ගණනින්, දස ලක්‌ෂ ගණනින් එක්‌ රැස්‌ කර ගන්නට නම් අප අනුගමනය කළ යුත්තේ කෙබඳු පිළිවෙතක්‌ දැයි සිහි බුද්ධියෙන් කල්පනා කර වැඩට බැසිය යුත්තේ එක්‌ වරක්‌ නොව කීප වරක්‌ හිතා බැලීමෙන් අනතුරුව බව අපට හැඟෙනා පැහැදිලි කාරණය බවද සඳහන් කළ යුත්තේය.

මෙරටින් කොටි ත්‍රස්‌තවාදය තුරන් කරන්නට මහින්ද රාජපක්‌ෂ පාලනය සමත්කම් පෑමත් සමඟ ශ්‍රී ලංකාව කරා ඇදී එන විදෙස්‌ රසකාමීන්ගේ සංඛ්‍යාව සංචාරක මණ්‌ඩලයේ තොරතුරුවලට අනුව බොහෝ සේ වර්ධනය වී ඇත. ඒ තොරතුරු සැබෑය. අද අපේ රටේ සොබා සිරිය රස විඳින්නට එන්නා වූ සංචාරකයින් වැඩි බව සංචාරක කලාපයකට නුදුරුව ජීවත් වෙන්නා වූ ලියුම්කරු ඉතා හොඳින් අත්දැක ඇති බව සත්‍යයකි. අපේ ගෙවල් මණ්‌ඩිය ඉදිරියේ ඇති ගාලු කොළඹ (2) මහා මාර්ගයේ කාර්, වෑන් හා බස්‌වලින්ද යතුරු පැදිවලින් මෙන්ම පාපැදිවලින්ද ඒ පැත්තට මේ පැත්තට යන එන සුද්දන් සුද්දියන් නිතර අප ඇස ගැටේ.



මේ නිසාම ඉකුත් සතියේ දවසක සංඛත් මමත් හික්‌කඩුව හා ඒ අවට සංචාරකයින් ගැවසෙන ස්‌ථාන ගණනාවක සැරි සැරුවෙමු. වෙනදා මෙන් නොව එදවස අප නෙත ගැටුණේ බුරුතුපිටින් වැල්ලේ හිරුරැස්‌ නාමින් තුටු පහටු වන සුද්දන් හා සුද්දියන්ය. වියපත් සුදු ජෝඩු ය. ජීවිතයේ වසන්තය හා අත්වැල් අල්ලා ගත් සුදු තරුණ තරුණියන්ය. සුදු පැටවුන් සමඟ කෙළි දැලෙන් පසුවන ඒ පැංචන් පැංචියන්ගේ අම්මලා හා තාත්තලාය.

හික්‌කඩුව මේ රටේ සංචාරක ව්‍යාපාරයේ ආරම්භක කේන්ද්‍රස්‌ථානයයි කිවහොත් නිවැරදි යයි මම විශ්වාස කරමි. ලොව පුරා හික්‌කඩුව සංචාරක පාරාදීසය චිර ප්‍රසිද්ධව ඇත්තේ ගල්මල් උයන, හෙවත් කොරල් පරය නිසයි. එනිසාමදොa කොරල් නාම භාවිතය ඇතිව සංචාරක හෝටල් ගණනාවක්‌ මේ සුන්දර නගරයේ අරඹන්නට හෝටල් ව්‍යාපාරිකයෝ බොහෝ කලකට පෙර පියවර ගත්හ. එහෙත් අවාසනාවක තරම නම් දැන් දැන් කොරල් යන අකුරු තුන ඒ හෝටල්වල තිබූ නාම පුවරුවලින් ගලවා දමන්නට ඒ ව්‍යාපාරිකයන් කටයුතු කර ඇත. මේ අති සුන්දර කොරල් පරයට ඇල්ලිනෝ බලපෑම කළ හානියට වැඩි හානියක්‌ කරන්නට තරම් ඔවුහු ෙද්‍රdaහී වී සිටීම කෙතරම් නම් මුග්ධ ද?

මුහුදේ කිමිදෙමින් මුහුදු පත්ලේ ඇති ගල්මල් අතරේ සැරිසරමින් සුරතල් මසුන්ගේ හැසිරීම් රටා නිරීක්‌ෂණය කරමින් කරදියෙන් යට වූ ඒ ලෝකයේ සුන්දරත්වය විඳ ගන්නට මෙහි එන අති බහුතරයක්‌ විදෙස්‌ සංචාරකයෝ මහත් කැමැත්තක්‌ දක්‌වති. පිටරැටියන් මෙන්ම අපේ ඇත්තන්ද සති අන්තයන් හි හික්‌කඩුව වැල්ලේ විනෝදවන අයුරු ගාලු කොළඹ පාරේ ගමන් ගන්නා කවරකුට වුව හොඳින් දැක බලා ගත හැකිය.

හික්‌කඩුව මුහුද පත්ලෙහි සුන්දරත්වය විඳ ඉන්ටර් නැෂනල් ඩයිවින් සෙන්ටර් එකට ඇවිත් කිමිදුම් ආම්පන්න බාරදුන් විදෙස්‌ තරුණයෙක්‌ අප හා සුහදව කතා බහකට එක්‌වූයේ ය. හේ ජර්මන් ජාතික තරුණයෙකි. මේ ජර්මානු තරුණයා නමින් ඩේවිඩ් බේගන්හෝල්ම්ය. ඔහු ලංකාවට පැමිණ ඇත්තේ සතියක සංචාරයක්‌ සඳහායි.

"මම ලංකාවට ආවේ මගේ තාත්තා කළ විස්‌තරය හින්දයි. තාත්තා අවුරුදු විසි පහකට පෙරයි මුලින්ම ලංකාවට ඇවිත් තියෙන්නේ. ඊට පස්‌සේ ඔහු කීප පාරක්‌ම ශ්‍රී ලංකාවට ඇවිත් තිබෙනවා. ගෝරන් බේගන්හෝල්ම් මගේ තාත්තා. ඔහු මට කීවේ සංචාරයක නියුතු වෙනවා නම් ලංකාවට යන්න අමතක කරන්න එපා කියලයි. ලංකාවට ගිහින් හික්‌කඩුව කොරල් පරේ බලන්න. හික්‌කඩුව හරි අපූරු සුන්දර තැනක්‌ කියලයි."

"තාත්තාගේ කීම කොච්චර ඇත්තක්‌දැයි තේරුම් ගත්තේ හික්‌කඩුවට ආවාට පස්‌සෙ. අපිට මේ හික්‌කඩුවදි හමුවුණු පිරිස්‌ හරිම ගුණයහපත්. බොහොම ලෙන්ගතුයි. හිතවත්. ඒත් එක්‌කම කියන්න ඕනෑ මේ වෙරළ හරිම පිරිසිදුයි කියන එක. පිරිසිදුකම සංචාරක ව්‍යාපාරයේ අංක එක ලෙසයි අපි සලකන්නේ" යයිද ඩේවිඩ් කීවේ මුව පුරා පුරවා ගත්තු හිනාවක්‌ ඇතුවයි.

"කියන්නම ඕනෑ තවත් එකක්‌ තමයි මේ රටේ කෑම බීම වගේම නවාතැන්වල තියෙන පහසු මිල ගණන්. අපි හික්‌කඩුවට ඇවිත් නතර වුණු කාමරේට අය කරන්නේ දවසකට රුපියල් හාරසියයි. ඒක අපි වගේ රැකියාවක්‌ නැති තරුණයකුට මොන තරම් පහසුවක්‌ද?"

"ලංකාවේ කොත්තු රොටී හරිම රසයි. ඒවගේම මිලත් අඩුයි. ප්‍රයිඩ් රයිස්‌ එකත් ගාන අඩුයි. පලතුරු වර්ගත් ඒ වගේමයි. අපි ආපහු ගිහින් අපේ යාළු මිත්‍රයින්ට කියනවා පිටරට සංචාරේ යනවා නම් ලංකාවට යන්න අමතක කරන්න එපා කියලා. අපි හික්‌කඩුවේ දවස්‌ හතරක්‌ ගතකළා. හෙට අපි යාල ගිහින් උඩහ පැත්තට යනවා. නුවර රැයක්‌ ගත කරලා ආපසු යනවා. හැබැයි පුළුවන්කමක්‌ ලැබුණු විටක ශ්‍රී ලංකාවට එන්න තමයි හිත කියන්නේම."

සංචාරක කර්මාන්තය අපට හිඟ පාඩු විදේශ විනිමය උකහා ගන්නට පහසු මඟෙකි. 1965 බලයට පත් වූ හත්හවුල් ආණ්‌ඩුවේ රාජ්‍ය ඇමැති තනතුර දැරූ ෙ-. ආර්. ජයවර්ධන මහතා විසින් සංචාරක කර්මාන්තය මේ රටේ ආරම්භ කරන්නට ඇවැසි අණ පනත් සම්මත කොට ගෙන ලංකා සංචාරක මණ්‌ඩලය පිහිටවනු ලැබිණි. ඒ 1966 දීය. ඒ පනත යටතේ සංචාරක කර්මාන්තය මේ වන විට අවුරුදු හැට හතරකි. ඒත් සංචාරක කර්මාන්තය ආරම්භ වූයේ කිසිදු සැලසුමකට අනුව නොවේ. එහෙයින්ම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක වූයේ නිසි පිළිවෙළකට නොවේ. එහි වූයේ අයාලේ යන සොබාවෙකි. එනිසාම රට තුළ අපේ සංස්‌කෘතියට සභ්‍යත්වයට හානි වන්නා වූ දැ බොහෝ සිදුවිය. උදාහරණයක්‌ දක්‌වතොත් විදෙස්‌ සඟරාවන් හි මේ රටේ ඉතා අඩු මුදලකට පහසුවෙන් සමලිංගික සේවනය ඇවැසි තරුණයින් සිටිනා බව පළ වූ ලිපි හා විස්‌තර අනන්ත අප්‍රමාණය. ඊට අමතරව මෙරටේ පැවැත්මට හානිදායක බෙහෝ කාරණා විදේශයන්හි සංචාරකයන් වෙත ප්‍රචාරය කෙරෙද්දී ඒවාට වැට කඩොලු බඳින්නට එදා සිට මේ දක්‌වා කිසිදු පාලකයෙක්‌ වග බලා ගත්තේ නැත. එයින් රටට උරුම කෙරුණු අපකීර්තිය සුළුපටු නොවේ.

අප සංචාරක කර්මාන්තය සංවර්ධනය කරගෙන රටට ඇවැසි විදේශ විනිමය පොදි ගසන්නට ඕනෑ බව සැබවි. එහෙත් මේ රටේ පවතින සාරධර්ම, පුරුෂාර්ථවලට සිදු වන්නා වූ හානි අවම කරගනිමින් සංචාරක කර්මාන්තය දියුණුව කරා ගෙන යායුතු බව අමතක නොකළ යුත්තේය. එසේ නොවුණ හොත් රටේ අනාගතයට හිමිකම් කියන්නේ කායිකව මෙන්ම මානසිකවත් රෝගී වූ පරපුරක්‌ බව සිහිපත් කරමි. හැබැයි මුල්ගිරිගල රාජ මහා විහාරස්‌ථානයේ ඇසුරේ හැදී වැඩුණු රාජපක්‌ෂ පවුලේ රට කරවන ඇත්තන් ඒ කෙරෙහි තත්පර වන බවට ඇති විශ්වාසය මත අපේ සාරධර්ම, ගුණධර්ම රැකෙනා සමාජයක්‌ මත ඉදි වෙන්නා වූ ලාංකේය ජන සමාජයේ අත්තිවාරමට කිසිදු ඇද පළුද්දක්‌ අතපසුවීමකින්වත් සිදු නොවනා බවට ද අපට ඇති සහතිකය සැනසිල්ලට කාරණාවෙකි. ඒ මේ රටේ සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්‌කෘතික සංවර්ධන වැඩ පිළිවෙළ මහින්ද චින්තන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නිබඳවම මහ සඟරුවනේ අවවාද අනුසාසනා ලබා ගන්නට තත්පර වන හෙයිනි.

සුගතපාල මැන්දිස්‌


http://www.divaina.com/2011/12/04/feature07.html

No comments:

Post a Comment