Monday, December 19, 2011

ඩොල්පින් බලන්න සමුද්‍ර යාත්‍රා සේවාවක්

ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයේ සුලබ ඩොල්පින් හා තල්මසුන් සමීපයටම ගොස් නිරීක්‍ෂණය කළ හැකි සමුද්‍ර යාත්‍රා සේවාවක් සාගර විශ්වවිද්‍යාලය මෙරට පෞද්ගලික සංචාරක සේවා ආයතනයක් හා එක්ව පෙරේදා (17) ආරම්භ කළේය.

සාගර විශ්වවිද්‍යාලය පළමුවරට තම යාත්‍රා ඇණිය යොදා ගනිමින් දෙස් විදෙස් සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයේ නිබඳව සරන ඩොල්පින් සහ තල්මසුන් අසලටම ගොස් උන් පහසුවෙන් දැකබලා ගත හැකි සමුද්‍ර යාත්‍රා සේවය ගාල්ල ධීවර වරායෙන් පෙරේදා උදෑසන ආරම්භ විය. එම සමුද්‍ර යාත්‍රා සේවාව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් මහත්වරු අතින් විවෘත විය. අනතුරුව ඇමැතිවරු දෙපළ ඇතුළු ආරාධිතයින් සහිත එම යාත්‍රාව පැය හතරකට ආසන්න කාලයක් සමුද්‍රයේ සැරිසරමින් ඩොල්පින් සහ තල්මසුන් සුලබ දකුණු මුහුදු තීරයේ සිය මංගල චාරිකාවේ නිරත විය. මෙහිදී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ සාගර සම්පත මෙරට ආර්ථිකයට දායක කර ගැනීමේ අටියෙන් එදා ධීවර ඇමැති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ආරම්භ කළ සාගර විශ්වවිද්‍යාලය සිය නාවික ඇණිය යොදා ගනිමින් සංචාරක කර්මාන්තය හරහා රටේ ආර්ථිකය නංවාලීම සඳහා ආරම්භ කළ මෙම වැඩපිළිවෙළ අතිශය කාලෝචිත බවය.

මේ වන විට ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයට අදාළව ලොව පළමු රටවල් 5 ට අයත් වේ. ලොව දුලබ තල්මසුන් හා ඩොල්පින් ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ මෙන්ම කල්පිටිය ආසන්නයේ ද සුලබව දැකබලා ගත හැක. මේ අතර පෘථිවි වාසී දැවැන්තම සත්ත්වයා සේ සැලකෙන මීටර් 134 ක් පමණ දිග නිල් තල්මසුන්ගේ පටන් තල්මස් ප්‍රභේද රාශියකි. 80 ක් පමණ වන තල්මස් ප්‍රභේද අතුරින් 26 ක් ම ශ්‍රී ලංකාව ආශි‍්‍රත මුහුදේ දැකගත හැකි යයි කී අමාත්‍යවරයා, මෙකී ආකර්ශනීය දැවැන්ත මත්ස්‍ය සම්පත සංචාරකයින් ශ්‍රී ලංකාවට කැඳවීමට සමත් වනු ඇතැයි කීය.


http://www.dinamina.lk/2011/12/19/_art.asp?fn=n1112192

No comments:

Post a Comment