Tuesday, December 20, 2011

Heavy rains in Eastern and North Central provinces (4 items)

අම්පාරේ මහ වැසි නිසා ජන ජීවිතය කඩා වැටිලා

නින්දවූර් - අලියාර් මුසම්මිල්

අම්පාර දිස්‌ත්‍රික්‌කයට ධාරාණිපාත මහ වැස්‌ස ඇද හැලෙන්න පටන්ගෙන තිබේ.

වෙරළබඩ ප්‍රදේශවල පහත් බිම් ප්‍රදේශ රැසක්‌ ජල ගැල්මට යටවී තිබේ.

මේ දිනවල කුඹුරුවලට යොදන ලද පොහොර ජල ගැල්මට සේදී යැම නිසා ගොවීහු මහත් අකරතැබ්බවලට මුහුණ පා සිටිති.

අ.පො.ස. සා/පෙ විභාගයට පෙනී සිටින පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විභාග මධ්‍යස්‌ථානවලට යැමට නොහැකිව තැන් තැන්වල රොක්‌වී සිටිති. ඇතැම් විභාග මධ්‍යස්‌ථාන පවා ජලයෙන් යටවී ඇත.

සහල් වෙළෙන්දෝ හාල් වර්ගවල මිල වැඩි කිරීමට මාන බලති. දැනටමත් තම්බපු හාල් කිලෝ 25 ක මිටියක්‌ රු. 1,525 කට අලෙවි වේ.


http://www.divaina.com/2011/12/20/provin04.html


මහ වැසි නිසා සියලු වැව් පිටාර ගලයි පොලොන්නරුවට යළි ගංවතුර

කරුණාරත්න ගමගේ

දින කිහිපයක්‌ තිස්‌සේ පවතින මහ වැසි හේතුවෙන් පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ප්‍රදේශ කිහිපයක යළි ගංවතුර තත්ත්වයක්‌ උද්ගත වී ඇත.

දිස්‌ත්‍රික්‌කයේ ලොකු කුඩා වැව් සියල්ලක්‌ම පාහේ පිටාර ගලමින් පවතින අතර මහ කන්නයේ වගා කරන ලද කුඹුරු අක්‌කර 10,000 කට අධික ප්‍රමාණයක්‌ මේ වන විට ජලයෙන් යටවී පවතී.

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය වැව, ගිරිතලේ වැව, කවුඩුළුවැව ආදී මහ වැව් සියල්ලක්‌ම මේ වන විට පිටාර ගැලීමට පටන්ගෙන තිබේ.

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10 අඟල් 03 බැගින් විවෘත කොට එහි අතිරික්‌ත ජලය පිටතට මුදාහැරීමට පියවර ගෙන ඇතැයි එහි වාරිමාර්ග ඉංජිනේරුවරයා පැවසීය.

එම වාන් දොරටුවලින් තත්ත්පරයකට ඝන අඩි 1300 ක ජල ප්‍රමාණයක්‌ පිටතට මුදාහැරේ.

මේ අතර මින්නේරිය ජලාශයේ ද වාන් දොරටු 07 ක්‌ මේ වන විට විවෘත කොට අතිරික්‌ත ජලය මුදාහැරේ.

කවුඩුල්ල ජලාශයේ ද වාන් දොරටු 05 ක්‌ අඟල් 10 බැගින් විවෘත කොට වැඩිපුර ජලය පිටතට මුදාහැරීමට පියවර ගත් බව එහි වාරිමාර්ග ඉංජිනේරු ප්‍රගීත් වැලිවිට මහතා "දිවයින" ට පැවසීය. මැදිරිගිරිය, ලංකාපුර, තමන්කඩුව, හිඟුරක්‌ගොඩ, දිඹුලාගල, වැලිකන්ද යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවලට අයත් මහ කන්නයේ වගා කරන ලද කුඹුරු අක්‌කර 10000 කට වැඩි ප්‍රමාණයක්‌ මේ වන විට ජලයෙන් යටවී පවතී. ගංවතුර හේතුවෙන් දිස්‌ත්‍රික්‌කයේ මාර්ග ගණනාවක්‌ ද ජලයෙන් යටවී ඒවායේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

පොලොන්නරුව සිට ඓතිහාසික සෝමාවතිය පූජා භූමියට පිවිසෙන මාර්ගයේ සුංගාවිල සිට ස්‌ථාන ගණනාවක්‌ම ජලයෙන් යටවී ඇති අතර එහි වාහන ගමනාගමනය මුළුමනින්ම ඇනහිට ඇත.

පොලොන්නරුව සිට ගල් අමුණ හරහා හිඟුරක්‌ගොඩ දක්‌වා මාර්ගයේ 6 කණුවට නුදුරුව ස්‌ථාන ගණනාවක්‌ ජලයෙන් යටවීම නිසා එහි රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

පාතමුණ හරහා හිඟුරක්‌ගොඩ මාර්ගයේ ඇතුමල්පිටිය හංදියට නුදුරුව ද පොලොන්නරුව සිට සුංගාවිල මාර්ගයේ තඩාල ප්‍රදේශයේ ද ජලයෙන් යටවී ඇත.

පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශයේ ඊයේ (19 දා) දහවල් වන විට ස්‌ථාන කිහිපයක ජල මට්‌ටම අඩි 1/2 ක්‌ව පැවති අතර එය බොහෝ විට වැඩිවීමට ඉඩ තිබෙන බව දිස්‌ත්‍රික්‌ ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්‌කාර මහතා "දිවයින" ට පැවසීය.

කුඹුක්‌කන්ආරුව, තලපත්ආරුව, පෙරියආරුව, මින්නේරියඔය, මලඔය, කහඹිලියා ඔය ආදිය පිටාර ගැලීම හේතුවෙන් එම ප්‍රදේශවල පහත් බිම් සහ මහ කන්නයේ වගා කරන ලද කුඹුරු විශාල ප්‍රමාණයක්‌ මේ වන විට ජලයෙන් යට වී පවතී.


http://www.divaina.com/2011/12/20/provin01.html


කණ්‌ඩලම වැව වාන් දමයි


දඹුල්ල කණ්‌ඩලම ජලාශය වාන් දමන අයුරු සහ දඹුලුඔය ජලාශයේ සොරොව් දොරටු පහක්‌ විවෘත කර ඇති අයුරු ඡායාරූපයේ දැක්‌වේ.

කණ්‌ඩලම ජලාශය අඩි 1 1/2 ක්‌ උසට වාන් දමන අතර දඹුලුඔය ජලාශයෙන් තත්ත්පරයට ඝන අඩි 3000 ක ජල ධාරිතාවක්‌ කලාවැවට මුදාහරින බවත් කලාවැවේ සොරොව් දොරටු දෙකම අඩි 8 ක්‌ ඉහළ ඔසවා තත්පරයට ඝන අඩි 9000 ක ජල ධාරිතාවක්‌ රාජාංගනයට මුදාහැරීමට ඊයේ (19 දා) දහවල් වන විට පියවර ගත් බවත් කලාවැව වාරි ඉංජිනේරු ඒ. එම්. ආර්. බණ්‌ඩාර මහතා පැවසීය.

සීගිරිය - සරත් එරමිණිගම්මන

කන්තලේ මහ වැවේ වාන් දොරටු දෙකක්‌ අරී

කන්තලේ - ඩබ්. ඇම්. වික්‍රමසිංහ

ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයට නොකඩවා ඇද හැළෙන ධාරාණිපාත වර්ෂාව නිසා කන්තලේ මහ වැවේ වාන් දොරටු දෙකක්‌ ඊයේ (19 දා) දහවල් 12.15 ට පමණ විවෘත කළ බව කන්තලේ ප්‍රධාන වාරිමාර්ග ඉංජිනේරු අයි. කනංකගේ මහතා පැවැසීය. මේ වන විට ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ, කන්තලේ, වාන්ඇල, ගෝමරන්කඩවල යන ප්‍රදේශවල වැව් 3 ක වාන් දොරටු විවෘත කොට ඇත.

මින්නේරිය ජලාශයේ වැඩි වතුර නිසා කවුඩුල්ල ප්‍රදේශය ජලයෙන් යටවීමට ඇති ඉඩකඩ අසුරාලීම සඳහා එම වැඩි ජලය යෝධ ඇළ හරහා කන්තලේ මහ වැවට යැමට සලස්‌වා ඇති බවත්, දැනට කන්තලේ මහ ජලාශයේ අක්‌කර අඩි 98000 ක ජල ප්‍රමාණයක්‌ රැඳී ඇති බවත් වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කරයි. මෙම වාන් දොරටු විවෘත කිරීම නිසා ප්‍රදේශයේ ජනතාවට හෝ වගාබිම්වලට කිසිදු හානියක්‌ සිදුනොවන අතර ප්‍රදේශවාසීන් අනිසි බියක්‌ ඇතිකරගත යුතු නැති බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.


http://www.divaina.com/2011/12/20/provin02.html


පොළොන්නරුවේ ජලාශ පිටාර ගලයි: පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ක් අරී

ගාමිණී ඔබේසේකර - පොළොන්නරුව විශේෂ



මේ දිනවල පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා ඇදහැළෙන ධාරානිපාත මහ වැසි නිසා පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ හා කවුඩුල්ල ජලාශ සම්පූර්ණයෙන් පිරී ජලය පිටාර ගලමින් පවතී.

පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව අක්කර අඩි එක්ලක්‍ෂ දසදහස ඉක්මවා පැවතීම නිසා (18) රාත්‍රියේ වාන් දොරටු 10 ක් විවෘත කොට ජලය ඉවත් කිරීම ආරම්භ කොට තිබේ.

මැදිරිගිරියේ කවුඩුල්ල ජලාශයේ ජල මට්ටම ඉහළ යෑමත් සමඟම වාන් දොරටු 4 ක් විවෘත කොට අතිරික්ත ජලය ඉවත් කිරීම අරඹා ඇත. පවත්නා මහ වැසි නිසා මින්නේරිය, ගිරිතලේ, පිඹුරත්තෑව ජලාශ ඊයේ (19) උදෑසන වන විට පිටාර ගලමින් පැවතිණි.

මින්නේරිය ඔය පිටාර ගැලීමත් සමඟ ඇතිවූ ගංවතුරින් ගල් අමුණ ප්‍රදේශය ජලයෙන් යටවී තිබේ. සෝමාවතිය මාර්ගය අඩි 3 ක් දක්වා ජලයෙන් යටවී ඇතැයි පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට හදිසි ගංවතුර තත්ත්වයක් උද්ගත වුණහොත් ජනතාවට සහන සැලසීම සඳහා පොළොන්නරුව ආපදා කළමනාකරණ ඒකකය සූදානමින් සිටින බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා කීය.

http://www.dinamina.lk/2011/12/20/_art.asp?fn=n1112208

No comments:

Post a Comment