Monday, April 2, 2012

Paddy purchasing by the PMB & Fair price (2 items)

වී ගන්නවා කියලා එන නිලධාරීන් මාදුරුඔය නැවතිලා ඉඳලා යනවා
- ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති දිනේෂ් මඩවල
සහතික මිලක්‌ තිබුණත් වී අලෙවි මණ්‌ඩලය වී ගන්න තවම සූදානමක්‌ නැහැ
 - බෙදුම්ඇලයාය ගොවි සංවිධානයේ ලේකම් ප්‍රසන්න අබේවික්‍රම


රොෂාන් තුෂාර - අරලගංවිල


රජරට පොලොන්නරුව ඇතුළු දිවයිනේ ප්‍රදේශ කීපයකම මෙවර මහ කන්නයේ වී අස්‌වනු නෙළමින් සිටින අතර, නෙළාගත් අස්‌වැන්න වී අලෙවි මණ්‌ඩලයට ලබාදීමට නොහැකිව ගොවීහු දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති.

ඒ අනුව මේ දිනවල ගොවි ජනතාව කථා බහට ලක්‌ කෙරෙන ප්‍රධාන මාතෘකාවක්‌ වනුයේ වී මිල පිළිබඳව බව අපි දනිමු.

අරලගංවිල යාය 08 දෙවගල ගොවි ජනතාව තම නෙළාගත් වී අස්‌වනු රජයේ පවතින සහතික වී මිලටවත් දීමට නොහැකිව ලතවෙමින් සිටින බව ඔව්හු "දිවයින" ට කීය.

එම ප්‍රදේශයට අයත් ගිරිපොකුණු වී ගබඩාව වී වලින් පුරවා වසා දැමීම මෙයට හේතුව බව කරුණු පැහැදිලිකරමින් ගොවීහු පැවසීය.

ඒ අනුව ගොවි ජනතාව තමන්ගේ දුක පැහැදිලි කර දුන්නේ මෙලෙසිනි.


අරලගංවිල යාය 8 බෙදුම්ඇල ගොවි සංවිධානයේ සභාපති ජී. ඒ. රංජිත් හේමාංග මහතා - අපේ ගොවි ජනතාව මේ වන විට වී අස්‌වනු නෙළාගනිමින් සිටින්නේ. නෙළාගත් මේ වී ටික දෙන්න ගබඩාවක්‌ නෑ. ගිරිපොකුණු වී ගබඩාව තියනවා ඒක ඉබි යතුරු දාලා. ලොග් කරලා තියෙන්නේ. අපි ගරු ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලන්නේ මේ නෙළාගත් වී ටික යාය 08 ගිරිපොකුණු ගබඩාවට ඇතුළත් කර ගන්න අවශ්‍ය කටයුතු කරලා දෙන්න කියලා. මේ රජය ගන්න සහතික වී මිලට වත් අපේ ගොවි ජනතාවගේ වී ටික ලබාගන්න කියලයි.

අපට වී අලෙවි මණ්‌ඩලයට වී දෙන්න කියලා ෆෝම් එක දීලා තියෙනවා. ඒ වුණත් ගබඩා ලොක්‌කරලා. අපිට හෙට වුණත් අපේ වී ටික ගෙනත් දෙන්න පුළුවන්.

අරලගංවිල යාය (08) බෙදුම්ඇල ගොවි සංවිධානයේ ලේකම් ප්‍රසන්න අබේවික්‍රම මහතා.

අද රජයේ වී ගන්න සහතික මිලක්‌ තිබුණත් ඒ මිලට ගන්න වී අලෙවි මණ්‌ඩලය තවම සූදානමක්‌ නෑ. මොකද මේ ගිරිපොකුණු ගබඩාව වහලා තියෙන්නේ. පුද්ගලික මෝල් හිමියන් මේ දවස්‌වල වී කිරන්නේ නාඩු වී කිලෝවක්‌ රුපියල් 18 ත් සම්බා වී කිලෝවක්‌ රුපියල් 22 ක්‌ වශයෙන්. අද අපි ගොවීන් වශයෙන් අසරණ වෙලා ඉන්නේ. ඒ නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ අපට මේ වී ටික දෙන්න ගිරිපොකුණු ගබඩාව විවෘත කරලා දෙන්න කියලා.

අරලංගවිල යාය 08 ගම්මානයේ පදිංචි එස්‌. ඒ. කරුණාවතී මහත්මිය මෙලෙස පැවසුවාය.



මගේ ස්‌වාමියා මිය ගිහිං. නමුත් මම තමයි කුඹුරු වැඩ කරන්නේ. අපිට මේ තාක්‌ වී අලෙවි කරගන්න මධ්‍යස්‌ථානයක්‌ තිබුණේ නෑ. අපට නොයෙක්‌ දුර ගිහිං තමයි අපේ වී ටික දෙන්න සිද්ධ වෙන්නේ. අද පවතින වී මිලත් එක්‌ක ආර්ථිකයත් එක්‌ක බලන කොට වී මිල හොඳටම මදි. ඒ නිසා වී මිල වැඩි කරලා, අපට අපේ ගමේ තියෙන ගිරිපොකුණු ගබඩාව ඇරලා වී ටික කියන මිලට හරි ගන්න ඕනේ.

ඒකාබද්ධ ගොවි පෙරමුණේ සභාපති දිනේෂ් මඩවල මහතා මෙලෙස කීවේය.

අද ගබඩාවලට වී ගන්නෙ නෑ. ගිය අවුරුද්දේ ගත්තු වී ටික තවම ගබඩා පුරවලා තියෙනවා. ඒක නිසා අපි ආණ්‌ඩුවට කියන්නේ මේ වැඩිවෙච්ච තෙල් මිල, බස්‌ ගාස්‌තුව, විදුලි බිලත් එක්‌ක වී මිලත් වැඩි කරන්න කියලා.

පසුගිය කන්න වල වී ගබඩාවල ගුල්ලෝ ගහලා ලක්‍ෂ දහයක පහළොවක වී දිරලා තියෙනවා. දිය බෙදුමේ ගබඩාවල විතරක්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විතරක්‌ හොරට වී පටවලා තියෙනවා. අප මාධ්‍යයෙන් ඒවා දැක්‌කා. ඒවා ගැන සොයන්නේ නෑ. වී අලෙවි මණ්‌ඩලයෙ සභාපතිතුමයි, එයාලගේ නිලධාරීන් වී ගන්නවා කියලා මෙහේ ඇවිල්ලා මාදුරුඔය නැවතිලා ඉඳලා යනවා. මේ ප්‍රශ්නයට විසඳුමක්‌ දෙන්නෙ නෑ.


http://www.divaina.com/2012/04/02/news17.html


වී ගැන්නැයි උද්ඝෝෂණ ...

වී කිලෝවක සහතික මිල රු. 40 ක්‌ කරන ලෙසත් මෙවර යලකන්නයේ වී අස්‌වැන්න මිලදී ගැනීමට ක්‍රමවත් වැඩ පිළිවෙළක්‌ ඇති කිරීමට පියවර ගන්නා ලෙසත් රජයට බල කිරීමේ ගොවි උද්ඝෝෂණයක්‌ ඊයේ (1 දා) පෙරවරුවේ අඟුණුකොළපැලැස්‌ස නගරයේදී පැවැත්විණි.

සමස්‌ත ලංකා ගොවි සම්මේලන හා රුහුණු ගිරුවාපත්තු ඒකාබද්ධ ගොවි සංවිධානය මගින් සංවිධානය කරන ලද එම ගොවි උද්ඝෝෂණයේදී ප්‍රදේශයේ ගොවි ජනතාව සටන් පාඨ පුවරු ඔසවාගෙන ඒවා කියමින් උද්ඝෝෂණයේ යෙදී සිටි අයුරු මෙහි දැක්‌වේ. සමස්‌ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක රුහුණු ගිරුවාපත්තු ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් දකුණු පළාත් සභා මන්ත්‍රී (ජ.වි.පෙ.) සිසිර කුමාර වාහලතන්ත්‍රි යන මහත්වරුද මෙම උද්ඝෝෂණයට සහභාගි වී සිටියහ.


නාකුළුගමුව - නෙල්සන් ගල්ඇටුඹගේ , තංගල්ල ප්‍රමෝද ශ්‍යාමල්

http://www.divaina.com/2012/04/02/news26.html

No comments:

Post a Comment