Monday, July 18, 2011

වගා නොකළ කුඹුරු ඉඩම් රජයට පවරා ගන්නවා

අගමැති දි. මු. ජයරත්න ගම්පොළදී කියයි 

දිවයින පුරා පිහිටි වගා නොකළ කුඹුරු ඉඩම් රජයට පවරාගෙන යළි වගා කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ පෙරවරුවේ ගම්පොළ රත්මල්කඩුව වෙල්යාය අස්‌වැද්දීමේ අවස්‌ථාවට සහභාගි වෙමිනි.

දිවි නැගුම ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක පුරන් කුඹුරු අස්‌වැද්දීමේ වැඩපිළිවෙළ යටතේ මෙම වෙල්යායේ වී වගා කිරීම සඳහා පියවර ගනු ලැබීය. එහිදී මාධ්‍යයට ප්‍රකාශයක්‌ කරමින් අග්‍රාමාත්‍යතුමා සඳහන් කළේ පුරන් කුඹුරු වගා කිරීම සඳහා උනන්දු වන ගොවීන්ට විවිධ ආකාරයේ ආධාර අනුබල ලබාදීමට රජය සූදානම් බවයි. ඒ අනුව පුරන් කුඹුරු අක්‌කරයක්‌ වගා කටයුතු සඳහා සංවර්ධනය කිරීම වෙනුවෙන් කිසියම් මූල්‍ය ආධාරයක්‌ පිරිනැමීමට රජය අපේක්‍ෂා කරන බවද පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

"ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සංවර්ධන සංකල්පය යථාර්ථයක්‌ බවට පත් කිරීම සඳහා අප විවිධ ආකාරයෙන් සම්බන්ධ වී සිටිනවා. එක්‌ පැත්තකින් දිවි නැඟුම වැඩසටහන යටතේත් තවත් පැත්තකින් පුරන් කුඹුරු සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේත් මීට පුළුල් දායකත්වයක්‌ ලබාදීමට හැකි වී තිබෙනවා. දිවි නැඟුම වැඩසටහන යටතේ ගෙවතු වගා ඒකක දශ ලක්‍ෂයක්‌ සංවර්ධනය කිරීම රජයේ අරමුණයි. ඒ අනුව 2012 වන විට පවුල් තිස්‌පන් ලක්‍ෂයකට තමන්ට අවශ්‍ය ආහාර භෝග තම ගෙවත්තෙන්ම ලබාගැනීමට පසුබිම උදාවෙනවා. ජාතියක්‌ වශයෙන් අප පෙළගැසෙන මේ මොහොතේ ආර්ථිකමය වශයෙන් ශක්‌තිමත් වීම ඉතා වැදගත්. ඒ සඳහා මූලික වශයෙන් අප කෘෂිකර්මාන්තය කෙරෙහි අවධානය යොමුකිරීම ප්‍රමුඛ වනවා. අද සමාජයේ වැරදි චින්තනයක්‌ නිසා කුඹුරට බහින්න බොහෝ දෙනෙක්‌ මැලිකමක්‌ දක්‌වනවා. මේක භයානක තත්ත්වයක්‌. වසර 2500 ක්‌ තිස්‌සේ අප ගොඩනැගුණේ කුඹුරත් එක්‌ක. උදැල්ල, කැත්ත, නගුල නිසා තමයි අපිට කෘෂිකාර්මික පැත්තෙන් ගොඩනැගෙන්න හැකි වුණේ. වර්තමානයේ තරුණ පරපුර කෘෂිකර්මාන්තය කෙරෙහි යොමුකිරීමේ කඩිනම් අවශ්‍යතාවක්‌ පවතිනවා. ඔවුන් කුඹුරට බැස්‌සවිය යුතුයි. ඒක ලැඡ්ජා වෙන්න කාරණයක්‌ නොවෙයි. ලෝකේ දියුණුතම යෑයි පිළිගැනෙන රටවල ඔවුන්ගේ ආර්ථික ගමන් මග දිහා බැලුවහොත් ඉතාම මහන්සියෙන් තම වෙර වීරියෙන් ගොඩනැගී ඇති ආකාරය පේනවා. අපිත් ජාතියක්‌ වශයෙන් ගොඩ නැගෙන්න නම් පටු චින්තනයන් වලින් බැහැර විය යුතුයි. ශ්‍රී ලංකාවේ විශාල ඉඩම් ප්‍රමාණයක්‌ පුරන් වී තිබෙනවා. මීට හේතුව ජනතාව තුළ හැඟීමක්‌ නොමැති කමයි. සමහරු උත්සාහ ගන්නේ කුඹුරට බහින්නේ නැතුව ජීවත් වෙන්නයි. ඒක වැරදි ආකල්පයක්‌.



Source: http://www.divaina.com/2011/07/18/news27.html

No comments:

Post a Comment