Wednesday, July 20, 2011

නියඟයට සූදානම් නොවුණහොත් බලාගාර තිබුණත් අනාගත විදුලි අර්බුදයෙන් බේරීමට නොහැකියි

ඇමැති පාඨලී චම්පික රණවක
පාර්ලිමේන්තුව - සභාව කල් තැබීමේ විවාදය

කුෂාන් සුබසිංහ, අජිත් අලහකෝන් 


ඉදිරි කාලයේදී ඇතිවන තෙල්, ගල් අඟුරු, ගෑස්‌ හිඟයන් මෙන්ම ගංවතුර හා නියඟයන්ට විධිමත් ලෙස සූදානම් නොවුණහොත් බලාගාර තිබුණත් ශ්‍රී ලංකාවේ අනාගතය අඳුරුවීම නොවැළැක්‌විය හැකි බව විදුලි බල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19 දා) ප්‍රකාශ කළේය.

සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගත් අවස්‌ථාවේදී පිළිතුරු කතාව කරමින් ඇමැතිවරයා එසේ කීය.

විදුලිය බිඳ වැටීම් පිළිබඳ සත්‍ය තත්ත්වය සභාවට අවබෝධ කර දෙන ලෙසත් එසේ බිඳ වැටීමකින් තොරව අඛණ්‌ඩව රටට විදුලිය ලබා දෙන ලෙසත් කුරුණෑගල දිස්‌ත්‍රික්‌ එ.ජා.ප. මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සභාව කල් තබන අවස්‌ථාවේ විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරමින් මෙසේ පැවසීය.

1970 මෙගාවොට්‌ 300 ක්‌ වූ විදුලි ධාරිතාව 1980 අගභාගය වන විට ඉන්දියාවට වුණත් විදුලිය දීමට තරම් තත්ත්වයක අප සිටියා. ඒත් අද වන විට ඒවා හිඟයක්‌ බවට පත් වෙලා තිබෙනවා. 2000 වසර වන විට දැවැන්ත විදුලි අර්බුදයක්‌ රට තුළ නිර්මාණය වුණා. අද වන විට රටේ විදුලිය කැපීමක්‌ සිදු වෙනවාද නැද්ද යන්න අපි විදුලි බල ඇමැතිතුමාගෙන් වරින් වර විමසා බැලුවා. ඒත් එසේ සිදු නොවන බවට එතුමා පිළිතුරු දුන්නා. අදවන විට එය පිළිගැනීමට හැකි උත්තරයක්‌ නොවේ. විදුලි බල මණ්‌ඩලය විසින් පසුගිය ජුනි මාසයේ පටන් වරින් වර සිදු කරන ලද විදුලි විසන්ධි කිරීම් පිළිබඳ සියලු දත්ත මා සතුව තිබෙනවා. කෙරවළපිටිය බලාගාරය තනි සුදු අලියෙක්‌ වෙලා. නොරොච්චෝලේ තාප බලාගාරය සම්බන්ධයෙන් රජයට තිබෙන පාලනය හෙළි කරනවා.

නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්‌කොඩි මහතා මුලසුනට පැමිණේ.

දයාසිරි ජයසේකර මහතා -

කෙරවළපිටිය මෙන්ම නොරොච්චෝලේ බලාගාර ඉදිකිරීමේදී සම්පූර්ණයෙන්ම දූෂිත ගනුදෙනු සිදු වී තිබෙනවා. තෙල් ඇමැතියි විදුලි ඇමැතියි අතර අර්බුද හටගෙන තිබෙනවා. විදුලි බල මණ්‌ඩලය කොමිස්‌ කාක්‌කන්ගෙන් බේරා ගන්න.

ඒ. එච්.එම්. අෂ්වර් මහතා මුලසුනට පැමිණේ.

කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා (ප්‍ර.ජා.ස.) -

මහින්ද චින්තනය මගින් මවා පාන ආශ්චර්ය ඇතුළේ විදුලි බල ක්‍ෂේත්‍රය ඉතා ඉහළින් තිබෙනවා. ස්‌වාභාවික විපත්තියකටත් වඩා නොහැකියාව නිසා ආශ්චර්යවත් රටේ ජනතාවට නොදැනුවත්ම කළුවරේ ඉන්න සිදු වෙලා. තූත්තුකුඩියටත් විදුලිය දෙනවා කියූ ඇමැතිවරයා අද නොදන්වාම ජනතාව අඳුරේ තබනවා. තාක්‌ෂණ දැනුම තිබුණට වත්මන් විදුලි ඇමැතිට ජල කළමනාකාරණ දැනුම තිබුණද යන්න ප්‍රශ්නයක්‌. ශ්‍රී ලංකාවට ලැබුණු ඉහළම වර්ෂාපතනය පසුගිය මැයි මාසයේදී වාර්තා වුණා. කොන්දේසිවලට තෙල් ලබා ගන්නට අද විදුලි බල අමාත්‍යාංශයට සිදුවෙලා. දුර දිග නොබලා ගත් තීරණ නිසයි මේ තත්ත්වය ඇති වී තිබෙන්නේ. මෙහෙයුම් ලාභය වැඩි වුණාට අනාගතයේදී පාඩු විඳින්නට සිදු වන බව ඇමැතිවරයා තේරුම් ගත්තෙ නැහැ. සේවක හිඟ වැටුප් මිලියන 800 යි. සේවකයන්ගේ පැත්තෙන් හිතන්නේ නෑ.

විදුලි බල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා

ජලය හිඟ තත්ත්වයක්‌ මත වුවත් අඛණ්‌ඩව විදුලිය ලබාදීමේ හැකියාව තිබෙනවා. විදුලි අර්බුදයක්‌ තියෙනවා. විදුලි කප්පාදුවක්‌ කරන බවට වැරදි මත ප්‍රචාරය කරන්න එපා.

මේ වසරේ (2011) මුල් කාලයේදී අධික වැසි වාර්තා වුණා. පසුගිය ජුනි මස වනතෙක්‌ ගිගාවොට්‌ පැය 2146 ක්‌ අපේ ජලාශවලට පැමිණියා. එමෙන්ම වසර ආරම්භ වූයේද ගිගාවොට්‌ පැය 1100 ක පමණ හොඳ ආරම්භයකිනි. මේ නිසාම 2011 පළමු හය මස තුළ ගිගාවොට්‌ පැය 2900 ක්‌ පමණ නිපදවීමට අපේ ජලාශ සමත් වුණා. නිරිත දිග මෝසම් සුළඟින් වර්ෂාව ලැබුණේ ඉතා අඩුවෙන්.

ලංවිමට ජලය ඉතිරි කරගත නොහැකි වූයේ ඇයි දැයි ඇතැමුන් ප්‍රශ්න කරනවා. ලක්‌ෂපාන හා මහවැලි සංකීර්ණ ගත්කල ජලය පරිභෝජනය ආකාර තුනකට සිදුවේ. එකක්‌ පානීය ජල අවශ්‍යතාවයන්ය. (කැලණි ගඟ මූලිකය) දෙවැන්න කෘෂි අවශ්‍යතාවයන් (මහවැලි ගඟ මූලිකය) මේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමෙන් පසුවයි විදුලිය අවශ්‍යතාවයට ජල මුදා හරින්නේ. එමෙන්ම දැන් සිදුව ඇත්තේ මෝසම් තත්ත්වය සම්පූර්ණයෙන් විකෘති වීමයි. පායන කාලයට වැස්‌සත් (ජනවාරි-මාර්තු) වහින කාලයට පෑවිල්ලත් (අප්‍රියෙල්-ජුලි) ඇති වීමයි. එමෙන්ම ජල සීරාව රැක ගැනීම පිණිස වන ස්‌වභාව ආවරණය ද වනය විනාශ වී යැම දේශගුණ විපර්යාසවල මූලික අංගයක්‌ වන්නේ මෙයයි. මේ අක්‍රමවත් වැසි නියඟ තත්ත්වය ඉදිරියේදී වඩාත් උග්‍රවනු ඇති. ජල සංරක්‍ෂණයට දිගුකාලීන වැඩපිළිවෙළකට රට යොමු නොවුණහොත් අනාගතයේ උග්‍ර පානීය, කෘෂිකාර්මික හා බලශක්‌ති උත්පාදන ජල හිඟයකට ද ගංවතුර නිසා ඇතිවන ආපදා තත්ත්වයනට ද මුහුණ දීමට අපට සිදුවෙනවා.

ජල හිඟය සමග කුඩා ජල විදුලියද හිඟ වෙනවාට ඉතුරු වූ එකම විකල්පය තාප විදුලියයි. එසේනම් ජල විදුලිය රාත්‍රි පැය 04 කට සීමාකර සම්පූර්ණ බලශක්‌තිය තාප බලාගාරවලින් ගත හැකිව තිබුණා. එය එසේ නොවූයේ ඇයි? තාප බලාගාර පහක්‌ අක්‍රිය වීම නිසයි. මෙවැනි තත්ත්වයක්‌ තුළ විදුලිබල පද්ධතියට කෙසේවත් උපරිම විදුලි ධාරිතාව (2000 මෙගාවොට්‌) හෝ දෛනික විදුලි අවශ්‍යතාවය (35 ගිගාවොට්‌ පැය) ලබාදිය නොහැකියි. ඒ නිසාම අනෙක්‌ යන්ත්‍ර අධික පීඩනයකට හසුවීමෙන් මුළු පද්ධතියම අක්‍රිය වීමේ අනතුරක්‌ ද පවතී. ඒ නිසා අවශ්‍යතාවය මත විටින් විට ප්‍රදේශ ගණනක විදුලිය විසන්ධි කිරීමට ලංවිම පාලන මධ්‍යස්‌ථානයට සිදුවුණා. නමුත් ජුනි මස 5 වැනිදා සිට කෙරවලපිටිය යුගදනව් බලාගාරයත් ජුනි මස 10 වැනිදා සිට පුත්තලම ලක්‌ විජය බලාගාරයත් ජාතික පද්ධතියට එක්‌වීමෙන් පසු සතියක පමණ කාලයක්‌ පැවැති අස්‌ථාවර තත්ත්වය නිමාවුණා.

1990 සිට ගල් අඟුරු බලාගාර හෝ විශාල ජල විදුලි ව්‍යාපෘති තැනීම යූඑන්පී පොදු පෙරමුණු ආණ්‌ඩු විසින් අතපසු කළා. එහි ප්‍රතිඵලය වූයේ 1996 ඇති වූ විදුලි අර්බුදයයි. ඉන්පසු පෞද්ගලික අංශයෙන් තාප විදුලිය මිලදී ගැනීම ඇරැඹුණා. එමගින් ලංවිම මූල්‍ය අර්බුදයට මඟ පෑදුණා.

තාප විදුලියෙන් (ඩීසල් - දැවිතෙල්) විදුලිය නිපදවිය හැකි වුවත් එය අධික වියදම් සහිත ක්‍රියාවලියක්‌. සමස්‌තයක්‌ ලෙස පුද්ගලික අංශයේ තාප විදුලිය සඳහා ඒකකයකට රු. 18.96 ක්‌ වැය වෙනවා. කැලණි තිස්‌ස ඨඔ-17 බලාගාරයේ විදුලි ඒකකයක්‌ රු. 48.98 ක්‌ වේ. පෙරළා මේ සියලු විදුලි ඒකක විකුණන්නේ රු. 13 කටයි.

ඒ අනුව සෑම තාප විදුලි ඒකකයකින්ම රු. 6 ක්‌ වැනි පාඩුවක්‌ ලංවිමට සිදුවේ. මෙය අවසානයේ පැටවෙන්නේ ජනතාව මතයි. පෙරළා ලක්‍ෂපාන, මහවැලි ආදී ජල විදුලි ඒකක පිළිවෙළින් රු. 3.57 ක්‌ හා රු. 4.29 ක්‌ වේ. පොදුවේ ජල විදුලිය ඒකකයක්‌ 4.84 ක්‌ වේ. (සමනළ ඇතුළු බලාගාර ද ගත්කල) මේ අනුව සෑම ජල විදුලි ඒකකයකින්ම රු. 8 ක ඉතුරුවක්‌ ලැබේ. ඉදිරියේදී ඉන්ධන මිල තවත් අධික වන අතර ඉන්ධනවලින් විදුලිය නිපදවීම ඉතා මිල අධික කාර්යයක්‌ වනු ඇත. මිල අඩු යෑයි සැලකූ ගල් අඟුරුවල මිල ගණන් ද ඉහළ යමින් ඇත. ඒ නිසා සැමට, සෑම මොහොතකම විදුලිය සැපයිය හැකි වුවත් ලාභ විදුලිය නම් වූ යුගය ගෙවී ගොස්‌ අවසන් බව අප සියලු දෙනා දත යුතුය.

මෙහිදී ජනතාවට කළ හැකි මෙහෙය ද අපමණය. එනම් විදුලි සංරක්‍ෂණයට යැමය. විශේෂයෙන් රාත්‍රි 6.00-10.00 අතර ජල මෝටරය, රෙදි සෝදන මැෂිම, විදුලි ස්‌ත්‍රික්‌කය පරිහරණය නොකර එය වෙනත් වේලාවක යොදා ගැනීමය. ශීතකරණය පැය 02.03 මේ කාලයේ වසා දැමීමෙන් වායු සමන යන්ත්‍ර පිරිමැසීම ඉතා අවශ්‍යය. එමෙන්ම නගර සභා, ප්‍රාදේශීය සභා සතු වීදි ලාම්පු රාත්‍රි 7.00 උදේ 5.00 ට සීමා කිරීමෙන් වෙළෙඳ දැන්වීම් ආදිය ආලෝකය යොදා ගැනීම සීමා කිරීමෙන් මෙයට ඔබ සැමට දායක විය හැක.

තෙල්, ගල් අඟුරු, ගෑස්‌ හිඟයත්, දේශගුණ විපර්යාසයන් නිසා ඇතිවන ගංවතුර හා නියඟයක්‌ ඉදිරි කාලයේ ලෝකයේ ප්‍රධානම ප්‍රශ්න වනු ඇත. ශ්‍රී ලංකාවේ මෙයට විධිමත් ලෙස සූදානම් නොවී ක්‍රියා කළහොත් බලාගාර තිබුණ ද ශ්‍රී ලංකාව අනාගතය අඳුරු වීම වැළැක්‌විය නොහැකි වනු ඇත.

ආයෝජන කලාපයට විදුලිය බිඳවැටීම් සිදුවූයේ එකම එක දවසයි. ජල සංරක්‍ෂණයට අප මුල්තැන ලබාදිය යුතුවයි. නැතිනම් විදුලි බලයට පමණක්‌ නොවේ පානීය ජලයටත්, කෘෂිකර්මාන්තයටත් විශාල අභියෝගයකට අනාගතයේදී මුහුණදෙන්න සිදුවෙනවා. යුගදනව් සහ ලක්‌ විජය බලාගාර දෙක හැදුවේ නැතිනම් අද දිනකට පැය දහය බැගින් කපා දමන්න සිදුවෙනවා. සේවක හිඟ වැටුප 2009 දී ඇතිවූ තත්ත්වයක්‌. රට යුද්ධයක තිබුණා.



Source: http://www.divaina.com/2011/07/20/parliment.html

No comments:

Post a Comment