Wednesday, July 20, 2011

සෝමාවතී රක්ෂිතයේ දැව ජාවාරම් ජයටම

සතුන් දඩයමට මර උගුල්

කුඩා කණ්ඩායම් වශයෙන් සෝමාවතී රක්ෂිතයට ඇතුළු වී දැව ජාවාරම්වල යෙදෙමින් රක්ෂිතයේ විවිධ ස්ථානවල වන විනාශයන් සිදු කරගෙන යන කණ්ඩායම් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතින බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කන්තලේ අලි පාලන ඒකකය කියයි. දැව ජාවාරම්වල යෙදෙන මෙම පිරිස් උගුල් අටවා සතුන් දඩයම් කිරීම ද ජයටම කරගෙන ගොස් ඇතැයි ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ කුඩා කණ්ඩායමක සිටි දෙදෙනෙකුගෙන් අනාවරණය වූ බව අලි පාලන ඒකකයේ වන ජීවි අඩවි සහකාර ජේ.ඒ.පී. විජේකුමාර මහතා පැවැසීය.

මැදිරිගිරිය ප්‍රදේශයෙන් පාපැදිවලින් රක්ෂිතයට ඇතුළුවන මෙම කණ්ඩායම් දින ගණනාවක් රක්ෂිත තුළ සිටිමින් ඉතා වටිනා දැව කපා පට්ටල් සාදා ඉරා පාපැදි වලින් රැගෙන එන බව මෙම සැකකරුවන් ප්‍රකාශ කර ඇත. මහා පරිමාණයෙන් දැව ජාවාරම් සිදු කිරීමේදී පිරිස් බලය වැඩි වශයෙන් යොදා ගැනීමට සිදුවීම නිසා තොරතුරු පිටතට යෑමේ ප්‍රවනතාවක් ඇති බැවින් කුඩා කණ්ඩායම් වශයෙන් සැදුම්ලත් පිරිස් අත් කියත්, බණ්ඩි කියත් භාවිතා කරමින් මෙම වන විනාශයන් සිදු කර ඇතැයි වන ජීවි අඩවි සහකාරවරයා පෙන්වා දුන්නේ ය. ඉතා වටිනා බුරුත පලු ගස් කපා ලෑලිවලට ඉරා ඇති අයුරු එහි දමා ගොස් ඇති පිට පලු වලින් ඔප්පු වී ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේ ය.

වන විනාශ කරන මෙම දැව ජාවාරම්කරුවන් ගල් උගුල් අටවා සතුන් දඩයම් කර ඇති අයුරුද මෙහිදී දැක ගැනීමට හැකිවී තිබේ. කන්තලේ, පේරමඩුව ප්‍රදේශයෙන් රක්ෂිතයට ඇතුළු වූ වන ජීවි නිලධාරින්ට රාත්‍රි කිහිපයක් පහන්කර මෙම තොරතුරු අනාවරණය කර මේවාට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමටත් දැඩි ආයාසයක් ගැනීමට සිදු වූ බව වනජීවි අඩවි සහකාරවරයා පෙන්වා දුන්නේ ය.  මෙහිදී අදහස් දැක්වූ වන ජීවි අඩවි සහකාරවරයා 1986 සැප්තැම්බර් 02 දා ජාතික උද්‍යානයක් බවට ගැසට් මගින්ද ප්‍රකාශයට පත්කර ඇති මෙම රක්ෂිතය වර්ග කිලෝමීටර් 377.62 ක් පුරා විසිරී පැතිරී තිබෙනවා. මේ වනවිට රක්ෂිතය තුළ ඉතා වටිනා දැව කපා ඇති අයුරු අප දුටුවා.

දිගින් දිගටම පසුගිය දින කිහිපය පුරාම රක්ෂිතයට රහසිගතව ඇතුළු වී මෙම දැව ජාවාරම්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ.  මොවුන් පවසන ආකාරයට රක්ෂිතය තුළ ඉතා වටිනා දැව කපාගෙන ගොස් තිබෙනවා. විශාල වන විනාශයක් සිදු වී ඇති බව අපට නිරීක්ෂණය වුණා. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (මහවැලි) සිසිර කුමාර ද සිල්වා මහතාගේ උපදෙස් මත කන්තලේ අලි පාලන ඒකකයේ වන ජීවි අඩවි සහකාර ජේ.ඒ.පී.විජේකුමාර මහතාගේ මෙහෙයවීමෙන් වනජීවි නියාමකවරුන් වන සී.එම්. සෙනෙවිරත්න , අයේෂ් රසික පූර්ණ නවරත්න, රියදුරු කේ එම්.පත්මසිරි සිවිල් ආරක්ෂක භටයන් වන ජයතිස්ස, සංජය, පුලස්ති , සමන් යන නිලධාරිහු මෙම වැටලීම සිදුකර තොරතුරු අනාවරණය කර ගැනීමට සමත් වූහ.

 



No comments:

Post a Comment