Sunday, July 17, 2011

සහල්, මිරිස් - කුළුබඩු මිලට ගැනීමේදී විමසිලිමත් වන්න

විස වර්ණක යෙදූ ආහාර වැටලීම් රටපුරා

කොළඹ නගරය ආශ්‍රිත වෙළෙඳසල්වලින් මිරිස්, කහ සහ කුළුබඩු වර්ග මිලට ගැනීමේදී විමසිලිමත් වන්නැයි කොළඹ නතර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතා පවසයි. ඊට අමතරව රතු කැකුළු සහල් යනුවෙන් හඟවා කෘත්‍රීම වර්ණක යෙදූ සහල් අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ලැබී ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි. මෙයට හේතුªවී තිබෙන්නේ කොළඹ මැනිං වෙළෙඳපොළ ප්‍රදේශයෙන් මිනිස් පරිභෝජනයට නුසුදුසු මිරිස්, කහ සහ කුළුබඩු තොගයක් අලෙවි කිරීමට තිබියදී සොයා ගැනීමය.

කොළඹ නගර සභාවේ ආහාර පරීක්ෂණ වැටලීම්වල ප්‍රතිඵලයක් වශයෙන් කොළඹ උතුර සහ මැනිං වෙළෙඳපොළ ප්‍රදේශයෙන් මිනිස් පරිභෝජනයට නුසුදුසු රසායන හා වර්ණක යෙදූ මිරිස් කුඩු, කහ කුඩු සහ තුනපහ වර්ග ද කෘත්‍රීම වර්ණක යෙදූ සහල් ද අලෙවි කළ අලෙවිසල් දහයක් සහ කුළුබඩු පැකට් කර අලෙවි කරනු ලබන සමාගමක් ද හඳුනාගෙන තිබේ.

මෙම අලෙවිසල්වල වීදුරු පෙට්ටිවල බහා අලෙවි කරනු ලබන මිරිස් කුඩුවල බර වැඩිවීම සඳහා ලුණු ද, කහකුඩුවලට පාන් පිටි සහ මිනිස් සිරුරට විෂ සහිත කහ වර්ණක ද එක්කොට තිබේ. රෙදිපිළි සහ බොත්තම් වර්ණ ගැන්වීමට යොදන එම කහ වර්ණකය ශරීරගත වීමෙන් පිළිකා, වකුගඩු සහ අක්මාව ආශ්‍රිත රෝග හට ගැනීමේ අවදානමක් ඇතැයි කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතා පවසයි.

කොළඹ මහ නගර සභාවට අයත් ප්‍රදේශ තවදුරටත් පරීක්ෂා කෙරෙන අතර අනෙකුත් ප්‍රදේශවල අලෙවිසල් පරීක්ෂා කිරීමට ද සියලුම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල වෙත උපදෙස් දී ඇතැයි ඒ පිළිබඳව කළ විමසීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයකු පැවසීය.

ආහාර පනත යටතේ සියලුම මහජන පරීක්ෂකවරුන්ට සහ ආහාර පරීක්ෂකවරුන්ට දිවයිනේ ඕනෑම ප්‍රදේශයක හදිසි වැටලීම් සිදු කිරීමට අවසර දී ඇති අතර වරදකරුවන්ට එරෙහිව නඩු පැවරීම ඇතුළු නීතිමය පියවර ගැනීමට සියලු බලතල පවරා ඇතැයි ද එම ප්‍රකාශකයා පැවැසීය. 

No comments:

Post a Comment