Wednesday, July 27, 2011

දෙහිවල සුපිරි වෙළෙඳ සලක පාරිභෝජනයට නුසුදුසු මස් හා මාළු තොගයක්


දෙහිවල ගාලු පාරේ පිහිටි සුපිරි වෙළෙඳ සලක් වැටලූ, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු එහි තිබූ පාරිභෝජනයට නුසුදුසු මස් සහ මාළු කිලෝ ග්‍රෑම් 250 කට අධික ප්‍රමාණයක් සමග එම සුපිරි වෙළෙඳසලේ කළමනාකරු ඇතුළු පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්හ. මෙම වැටලීමේ දී අදාළ වෙළෙඳ සලේ වෙළෙඳාම සඳහා ගබඩා කර තිබූ මස් වර්ගයන් හා මාළු නියමිත ප්‍රමිතියන්ට අනුව ගබඩා කර නොතිබුණි.

මස් රඳවා තිබූ වීදුරු ආවරණ සහිත ප්‍රදර්ශන ශීතකරණයන් හි නියමිත උෂ්ණත්වය රඳවා නොතිබීම හේතුවෙන් මස් වර්ගවල බැක්ටීරියා වර්ධනය වී ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්යකට පත්වී ඇති බව දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිනී වෛද්‍ය ඩී. එස්. ඩබ්ලිව්. මැන්දිස් මහත්මිය ප්‍රකාශ කළාය.  මෙහි ප්‍රධාන ගබඩා කාමරය තුළ මාස ගණන් පැරැණි මස් වර්ග තොග සමග අලුත් මස් වර්ග තැන්පත් කිරීම හේතුවෙන් මස් සහ මාළු මේ තත්ත්වයට පැමිණ ඇති බවත්, දිගින් දිගටම ලැබුණ මහජන පැමිණිලි මත මෙම වැටලීම සිදු කළ බවත් ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය වැඩිදුරටත් කියා සිටියාය.

සැකකරුවන් හා වැටලීමේ දි අත්අඩංගුවට පත් මස් හා මාළු තොග ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරිභෝජනයට නුසුදුසු එම මස් හා මාළු තොගය විනාශ කිරීමට කටයුතු කළ අතර වෙළෙඳසලේ කළමණාකරු ලෙස සැලකෙන පුද්ගලයා හට රුපියල් පන්දහසක දඩයක් නියම කොට මාස හයක සිරදඬුවමක් පනවා එය වසර දහයකට අත්හිටුවීමට නියෝග කෙරුණි. ගල්කිස්ස මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි වෛද්‍ය ඩී. එස්. ඩබ්ලිව්. මැන්දිස් මහත්මියගේ උපදෙස් අනුව ජීවන් විජේසිංහ, වසන්ත පුෂ්පකුමාර, අනිල් කුමාර, සුමිත් කල්දේරා යන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු මෙම වැටලිම සිදු කළහ.

No comments:

Post a Comment