“වර්තමානයේ රට තුල මහත් ආන්දෝලනයකට තක්ව ඇති පළිබෝධනාශක වල ආසනික් අඩංගුවීම සම්බන්ධව කරුණු දක්වමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය මේ සම්බන්ධයෙන් වගකිවයුතු රජයේ අමාත්‍යවරුන්ට ලිපියක් යවා ඇත. එහි සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ අත්සනින් යුක්තව සියළු මාධ්‍ය වලටද පිටපත් යොමු කර තිබුණු එම ලේඛණය අප විද්‍යුත්ත් තැපෑල වෙතද යොමු කොට තිබුණු අතර කාලීන වශයෙන් වැදගත් යයි සලකා කිසිදු සංශෝධනයකින් තොරව පහත දැක්වේ.”
ආසනික් ගැටළුව කුමන්ත‍්‍රණයක් දක්වා වර්ධනය වී ඇත.
එහෙත් එය ඔබතුමන්ලාට පහසුවෙන් විසඳිය හැකිය.
මේ වන විට ඔබතුමන්ලා ඉතා හොඳින් දන්නා පරිදි පළිබෝධනාශක වල ආසනික් සහ රසදිය නමැති උග‍්‍ර විෂ වර්ග අඩංගු වීම පිළිබඳව විශාල සමාජ කථිකාවක් ගොඩනැඟී ඇත. ඊට අදාළව පහත ආකාරයට කරුණු ගොනු කිරීමට කැමැත්තෙමි.
01. ආසනික් සහ රසදිය අඩංගු වෙළඳනාම 100කට ආසන්න ප‍්‍රමාණයක තොරතුරු මේ වන විට රේගුව විසින් සහ කැලණිය – රජරට ඒකාබද්ධ පර්යේෂණ කණ්ඩායම විසින් පිළිබෝනාශක රෙජිස්ට‍්‍රාර්වරයාට ලබා දී ඇත.
02. පළිබෝධනාශක වල ආසනික් අඩංගු වීම නිසා පසට, ජලයට සහ ආහාරවලට ආසනික් එකතු විය හැකි බවත් එමඟින් වකුගඩු රෝගය වැළඳිය හැකි බවත් කැලණිය – රජරට පර්යේෂණ කණ්ඩායම පර්යේෂණ ප‍්‍රවාදයක් ඉදිරිපත් කොට ඇත. එම ප‍්‍රවාදය යම් දුරකට තහවුරු වී ඇති බව එම පර්යේෂණ කණ්ඩායම පවසන අතර ඊට අදාළ පර්යේෂණ තවදුරටත් කරගෙන යන බවද ඔවුන් ප‍්‍රකාශ කොට ඇත.
03. රේගුව මේ වන විට ආනයනය කරන ලද ආසනික් සහ රසදිය අඩංගු පළිබෝධනාශක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති අතර අලෙවිකරුවන් සතු තොග ප‍්‍රමාණයක්ද වැඩිදුර පරීක්‍ෂණ සඳහා සීල් තබා ඇත.
04. ඉහත තත්වයට ප‍්‍රතිචාර ලෙස පලිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්වරයා විසින් කැලණිය – රජරට පර්යේෂණ කණ්ඩායම විසින් ලබාදුන් ආසනික් අඩංගු පලිබෝධනාශක ලයිස්තුව කාර්මික පර්යේෂණ ආයතනයේදී නැවත පරීක්‍ෂාවට ලක් කොට ඇත. ඔහුට ලබා දුන් වෙළඳ නාම 28ක ලයිස්තුවෙන් ඔහු පරීක්‍ෂා කොට ඇත්තේ 23ක් පමණි. ඉතිරි 5 අත්හැරියේ කුමන හේතුවක් නිසාද යන්න පැහැදිලි නැත. ඊට අමතරව එහිදී ආසනික් අඩංගු වූ බවට තහවුරු වූ වෙළඳ නාම තුනෙන් නැවත ආනයනය අත්හිටුවීමට නියෝග කොට ඇත්තේ වර්ග දෙකක් සඳහා පමණි. එසේ එක් වෙළඳ නාමයක් නිදහස් කලේ කුමන පදනමකින්ද යන්න පැහැදිලි නැත. එපමණක් නොව පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්වරයා ඊට පසුව 4/7/2011 දින අගමැති කාර්යාලයේදී කල ප‍්‍රකාශයට අනුව තවත් වර්ග 6ක ආසනික් අඩංගු වී ඇත. (ඊට අදාල හඬ පටය අප වෙත ලැබී ඇත.) නමුත් ඔහු ඒ බව ලිඛිතව ලබා දී නොමැති අතර ඒවායේ ආනයනය අත්හිටුවීම සඳහා නියෝගයක් නිකුත් කොට නොමැත.
05. රේගුව විසින් පළිබෝධනාශක සමාගම්වල නියෝජිතයන් ඉදිරියේදී කැලණිය විශ්ව විද්‍යාල රසායනාගාරයේදී සිදුකළ පරීක්‍ෂණය අනුව ආසනික් සහ රසදිය අඩංගු බවට තහවුරු වූ පළිබෝධනාශක ලයිස්තුවක් රෙජිස්ට‍්‍රාර්වරයාට යවා ඇතත් මේ වනතෙක් ඒ පිළිබඳ කිසිදු පියවරක් ගෙන නැත. එසේම ඔහු ආසනික් පිළිබඳ යම් මත පළ කළත් රසදිය විෂ පිළිබඳ වචනයක්වත් කතාකොට නැත.
06. මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ වකුගඩු රෝග පර්යේෂණ ව්‍යාපෘතිය සමඟ සම්බන්ධ විද්වතුන් ‘ආසනික් ගැටළුව’ සම්බන්ධව කටයුතු කරන ආකාරයද ගැටළු සහගත බව පෙනෙන්නට ඇත. එහි ප‍්‍රධාන සම්බන්ධීකාරකවරියක වු ආචාර්ය ජනිතා ලියනගේ මහත්මිය කිසිදු පරීක්‍ෂණයක් අවසන් වීමට පෙර රාවය පුවත්පතට ප‍්‍රකාශ කොට සිටියේ පළිබෝධනාශකවල ආසනික් අඩංගු වීමේ කථාව බොරු බවය. ඊට අමතරව එම විද්වතුන් ඉතා පක්‍ෂාග‍්‍රාහී ලෙස පූර්ව නිගමන සහිතව ප‍්‍රකාශ කරන්නේ ආසනික් සහ වකුගඩු රෝගය අතර සම්බන්ධයක් නොමැති බවයි. නමුත් ඔවුන් තමන්ද සම්බන්ධ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ව්‍යාපෘතියට අදාළ පර්යේෂණ වලින් සොයාගත් දේ ගැන කතා කරන්නේ නැත. ඊට අමතරව ඔවුන් වකුගඩු රෝගය ගැන සහ සහල්වල ආසනික් තිබෙනවාද නැද්ද යන කාරණය ගැන උස් හඬින් කතා කලත් පළිබෝධනාශක වල ආසනික් සහ රසදිය අඩංගු වීම පිළිබඳව මුනිවත රකිති. එම තත්වය ඔවුන්ගේ විද්වත්භාවයටද කැලලක් වන අතර මහජන විශ්වාසය බිඳ වැටීමටද හේතුවක් විය හැක.
07. ඒ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානියා වන ෆිර්දෝසි රත්නම් මේතා මහතා 4/7/2011 දින අගමැති කාර්යාලයේදී පැවති රැුස්වීමේදී කියා සිටියේ ඔවුන් වකුගඩු රෝගීන්ගේ මුත‍්‍රා සාම්පල පරීක්‍ෂා කල බවත් ඒවායෙන් 35%ක ආසනික් සැලකිය යුතු ප‍්‍රමාණ වලින් අඩංගු වූ බවත්ය. (මේ පිළිබඳව පුවත්පත් වලද වාර්තා විය.) නමුත් ඒ පිළිබඳව එතැනින් ඔබ්බට ගිය පරීක්‍ෂණ කළ බවක් සඳහන් කලේ නැත. උදාහරණ ලෙස හිසකෙස් සහ නියපොතුවල ආසනික් මට්ටම් සහ මිය ගිය රෝගීන්ගේ වකුගඩු සහ අක්මාවේ පටකවල ඇති ආසනික් මට්ටම පිළිබඳව පරීක්‍ෂා කිරීම් පිළිබඳවද ඔහු කිසිදු සඳහනක් කලේ නැත. වසර 3කට අධික කාලයක් මෙම පර්යේෂණ කණ්ඩායම සිදුකළ පර්යේෂණවල ප‍්‍රථිඵල මේ වන තුරු මහජනයාට රහසක්ව පවතී. පසුගිය ජූනි මාසයේදී සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වසංගත රෝගී අංශයේදී යම් වාර්තාවක් ඉදිරිපත් කොට ඇතත් මේතා මහතා සඳහන් කළ තොරතුරුවලට අදාල ප‍්‍රතිඵල පිළිබඳව සඳහන් කොට නැත. ඒ අනුව යම් තොරතුරු සැඟවීමක් සිදුවන බවට එම ආයතනයට චෝදනා එල්ල වී ඇත. එම චෝදනා ප‍්‍රධාන වශයෙන් එල්ල වන්නේ එම වාර්තාවලට වගකිව යුතු වෛi ලංකා දිසානායක මහත්මියටය.
08. පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් ආසනික් ආන්දෝලනය පැන නැඟුනු විගස කිසිදු සොයා බැලීමකින් තොරව එක් හඬින් ප‍්‍රකාශ කර සිටියේ පළිබෝධනාශකවල ආසනික් අඩංගු විය නොහැකි බවයි. එපමණක් නොව ඔහු ඊළඟ වටයේදී මහජනයා අතර ප‍්‍රශ්නයක් බවට පත්ව නොතිබූ සහල්වල ආසනික් අඩංගු නොවන බවට සංවාදයක් ඇති කලේ ඇත්ත ප‍්‍රශ්ණය වන නීති විරෝධී ලෙස ආසනික් සහ රසදිය විෂ අඩංගු පළිබෝධනාශක රට තුළට ආනයනය කිරීමේ මහා අපරාධය යටපත් කිරීමට යයි චෝදනාවක්ද එල්ල වී ඇත.
09. මේ වන විට පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්වරයා මෙන්ම විෂ වර්ග ආනයනය කිරීම පිළිබඳව චෝදනාවට ලක්වූ වෙළඳුන් තර්ක කරන්නේ පළිබෝධනාශකවල තිබිය හැකි උපරිම ආසනික් ප‍්‍රමාණයක් නියම කළ යුතු බවයි. එම උවමනාව සාධාරණීකරණය කිරීම සඳහා පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්වරයා පුවත්පත් ලිපියක් මඟින් සහ අදාළ වෙළඳුන් පුවත් පත් දැන්වීමක් මඟින් කියා සිටියේ ආහාරවල අඩංගු විය හැකි ආසනික් ප‍්‍රමාණයන් ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් නිර්දේශ කර ඇති බවයි. ඔවුන් හුවා දැක්වූ ආකාරයට ඔවුන් විසින්ම පරීක්‍ෂණයකට ලක් කොට ආසනික් තිබෙනවා යයි කියන පළිබෝධනාශකවල තිබුණා යයි කියන ආසනික් ප‍්‍රමාණයට වඩා මෙම ආහාර ද්‍රව්‍ය වලට නිර්දේශ කර ඇති ආසනික් ප‍්‍රමාණයන් ඉතා ඉහල අගයක් ගනියි. ඒ මඟින් ඔවුන් මහජනයාට කියා සිටින්නේ ආහාරවල තිබිය හැකි ප‍්‍රමාණයටත් වඩා අඩු ප‍්‍රමාණයක් ආසනික් තිබෙනවා නම් ඒ පළිබෝධනාශක භාවිතා කලාට ඇති වරද කුමක්ද යන්නයි.
නමුත් 4/7/2011 දින අගමැති කාර්යාලයේදී පැවති රැුස්වීමට සහභාගී වූ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ වගකිව යුතු නිලධාරිනියක් පවසා ඇත්තේ ඒ ආකාරයට ඔවුන් ආහාරවල තිබිය හැකි ආසනික් ප‍්‍රමාණයන්වල උපරිම අගයන් නිර්දේශ කොට නොමැති බවයි. පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්වරයා සහ වෙළඳුන් පට්ටපල් බොරු ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීමෙන් කරන්නට උත්සාහ කරන්නේ කුමක්ද? ඔවුන් ඉතා පැහැදිලිවම උත්සාහ කරන්නේ අත්අඩංගුවට ගෙන ඇති පළිබෝධනාශකවල නීතිවිරෝධී මට්ටමින් ආසනික් නොමැති බව තහවුරු කොට ඒවා නිදහස් කර ගැනීමටය. ඉන් පසුව අදාළ වෙළඳුන්ද චෝදනාවලින් නිදහස්වනවා පමණක් නොව අනාගතයේදීද ආසනික් විෂ සහිත පළිබෝධනාශක ආනයනය කිරීමටද නීතියෙන්ම ඉඩකඩ ලැබේ.
10. එසේම ආසනික් සහිත පළිබෝධානාශක භාවිතය මඟින් මහජන සෞඛ්‍යයට වන හානිය පිළිබඳ කථිකාව වකුගඩු රෝගයට සීමා වී ඇත. නමුත් ලෝකය පුරා පර්යේෂණ රාශියකින් ඔප්පු වී ඇත්තේ ආසනික්, දියවැඩියාව, හෘද රෝග, පෙනහළු රෝග, අක්මා රෝග සහ පිළිකා ආදී විශාල මහජන සෞඛ්‍ය ප‍්‍රශ්ණ රාශියකට හේතුවන බවයි. නමුත් ඒ පිළිබඳ පුළුල් සෞඛ්‍ය අධ්‍යාපන කථිකාවක් නැත. තවද ආසනික්, සහල් සහ බීමට ගන්නා ජලය මඟින් ශරීරගත වන ආකාරය පිළිබඳ කථිකාවක් ඇත. එහෙත් එම විෂ එළවලූ සහ පළතුරුවල මතුපිටට යොදන රසායන ද්‍රව්‍ය හරහා ඒවා අහාරයට ගැනීමේදී සෘජුව ශරීරගත විය හැකි බව සහ එහි භායානක කම සමාජගතවී නැත.
මේ ආකාරයට ආසනික් ගැටළුව විසඳීමට වඩා එය තවදුරටත් අවුල් කිරීමට අප රටේ නිලධාරීන් සහ විද්වතුන් කටයුතු කොට ඇති බව පැහැදිලි වේ. දැන් පෙනෙන්නට තිබෙන තත්වය අනුව ඉදිරියේදී පලිබෝධනාශකවල තිබිය හැකි උපරිම ආසනික් ප‍්‍රමාණයක් නිර්දේශ කරමින් රෙගුලාසි පැනවීමට ඉඩ ඇත. එසේ සිදුවුවහොත් අප රට ආසනික් නීතිගත කළ ලෝකයේ පලමු රට බවට පත් වනු ඇත. හොර රහසේ ආසනික් විෂ ආනයනය කිරීම පිළිබඳව රටකට චෝදනා කළ හැක්කේ ඒ පිළිබඳව නීතිය ක‍්‍රියාත්මක නොකළහොත් පමණි. නමුත් වරදක් කිරීමට නීතියෙන්ම ඉඩකඩ සැලසීම බරපතල තත්වයකි. ඒ මඟින් අපගේ කෘෂි අපනයන වලට ඉතා අඳුරු යුගයක් උදාවනු ඇති බවට කිසිදු සැකයක් නැත. මේ තත්වය විග‍්‍රහ කළ හැක්කේ සියතින් ගෙල සිඳ ගැනීමක් ලෙස මිස අන් යමක් ලෙස නොවේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ වල දත්ත සැඟවීමට මුල් වන සහ එම පර්යේෂණ අරමුදල් සම්බන්ධීකරණය කිරීමට මෙන්ම පළිබෝධනාශකවල ආසනික් නොමැති බවට පළමු පැයේදීම පුවත්පත් වලට ප‍්‍රකාශ නිකුත් කළ කාන්තාවන් දෙදෙනෙකුද ඇතුළුව පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර්වරයාගේද දේශපාලන සම්බන්ධකම් පිළිබඳව අප වෙත තොරතුරු වාර්තා වී ඇත. ඒවාට අනුව මොවුන් ආසනික් ගැටළුව සැබෑ ලෙසම රජය අපහසුතාවයට පත් කිරීම සඳහා අවුලෙන් අවුලට රැුගෙන යනවාද යන සැකය අපට ඇති වී තිබේ.
මේ වන විට ආසනික් සහිත පළිබෝධනාශක ආනයනය කළ සමාගම් 26ක් එකට එකතු වී රජයේ ගුවන් විදුලිය හරහාම පර්යේෂණ කණ්ඩායම් වලට චෝදනා එල්ල කරමින් ඇත. ඒ අතර ඔවුන් පවතින ගැටළුව නිසා ඉදිරියේදී වෙළඳපලේ පලිබෝධනාශක හිඟයක් ඇතිවිය හැකි බවටද අනතුරු හඟවති. ඒ මඟින්ද ඔවුන් උත්සාහ කරන්නේ රජය අපහසුතාවයට පත් කිරීමටය.
මෙම තත්වය තුල අප ඔබතුමාලාගෙන් ඉල්ලා සිටින්නේ පහත සඳහන් කරුණු සැලකිල්ලට ගෙන ආසනික් කුමන්ත‍්‍රණය පරාජයට පත්කර රජයේ ගෞරවය නැවත දිනාගෙන මහජන විශ්වාසයද තහවුරු කරන ලෙසය.
01. පරස්පර මතවාද ඉදිරිපත් කරන ප‍්‍රධාන පාර්ශ්ව දෙකේ (රාජ්‍ය නිලධාරීන් සහ ලෝක සෞඛය සංවිධානයේ පර්යේෂණ කණ්ඩායම එක් පාර්ශවයක් ලෙසත් කැලණිය-රජරට පර්යේෂණ කණ්ඩායම අනෙක් පාර්ශ්වය ලෙසත්) නියෝජිතයන් කැඳවා එම පාර්ශ්ව විසින් ආසනික් පරීක්‍ෂා කළ පරීක්‍ෂණාගාරවලට අමතරව එම පාර්ශ්වවලට කිසිදු සම්බන්ධයක් නොමැති (සේවකයන් ලෙස, අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් හෝ උපදේශකයන් ලෙස) ආයතනයක්ද ඇතුළත්ව ආයතන තුනකදී ආසනික් පරීක්‍ෂණ තහවුරු කළ යුතුය. එහිදී රසදිය සඳහාද පරීක්‍ෂණ සිදුකළ යුතු බව අවධාරණය විය යුතුය. මෙම පරීක්‍ෂණ ක‍්‍රියාවලිය අධීක්‍ෂණය කිරීම සඳහා අදාළ පාර්ශ්ව දෙකේ නියෝජිතයන්ට සහ රේගු නිලධාරීන්ට අමතරව ජනමාධ්‍යවලටද ඉඩ සලසා දිය යුතුය.
02. යම් පළිබෝධනාශක ප‍්‍රමාණයක ආසනික් හෝ රසදිය තිබෙන බව තහවුරු වූයේ නම් ඒවා ආනයනය කළ සමාගම් ප‍්‍රධානීන් කැඳවා රටේ ජනතාවගේ ජීවිතවල නාමයෙන් සහ තම සමාගම්වල ගරුත්වයේ නාමයෙන් අදාළ රසායන ද්‍රව්‍ය විධිමත්ව බැහැර කරන ලෙස ඉල්ලා සිටිය යුතුය. ඒ සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ තාක්‍ෂණික උපදෙස්ද ලබා ගත යුතුය. ඒ සුළු පාඩුව දරාගැනීමෙන් එම සමාගම් වලට ඊට වඩා වටිනා මහජන ප‍්‍රසාදයක් දිනාගත හැකි බව පෙන්වා දිය යුතුය. එසේම ආසනික් හෝ රසදිය අඩංගු නොවන බවට ඔප්පුවන පළිබෝධනාශක සියල්ල නිදහස් කොට අදාළ සමාගම්වලට තම වාණිජ කටයුතු කරගෙන යාමට ඉඩ සැලසිය යුතුය.
03. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධ වකුගඩු රෝග පර්යේෂණ ව්‍යාපෘතිය මඟින් මෙතෙක් කලක් කරන ලද පර්යේෂණවල ප‍්‍රතිපල කුමන මට්ටමක තිබුණා වුවත් නොපමාව එම තොරතුරු මහජනයාට එළි කළ යුතුය.
04. වකුගඩු රෝග ආශ‍්‍රිතව පර්යේෂණ කරන වෙනත් කණ්ඩායම් වලටද තමා මෙතෙක් කරන ලද පර්යේෂණවල සාර්ථකත්වය මහජනයාට ඉතා පැහැදිලිව හෙළිදරවු කරන ලෙස ඉල්ලා සිටිය යුතුය. එසේම එම පර්යේෂණ සාර්ථකව තවදුරටත් ඉදිරියට කරගෙන යාම සඳහා අවශ්‍ය සම්පත්, අරමුදල් සහ අනෙකුත් පරිපාලනමය සහාය එම කණ්ඩායම් වෙතද ලබා දිය යුතුය.
05. පළිබෝධනාශක පනතේ දුර්වලතා සංශෝධනය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් පත්කොට විද්වතුන්ගේ සහ මහජනයාගෙඅදහස් ලබාගත යුතු අතර හැකි ඉක්මනින් එම සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. එහිදී ආසනික් සහ රසදිය සක‍්‍රීය ද්‍රව්‍ය ලෙස හෝ අපද්‍රව්‍ය ලෙස අංශු මාත‍්‍රයක්වත් අඩංගු විය නොහැකි බවට ප‍්‍රතිපාදන ඇති කළ යුතුය. එමෙන්ම පළිබෝධනාශක ලියාපදිංචි කිරීමේදී ලේඛණ මත පමණක් පදනම් නොවී සක‍්‍රීය ද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය යන දෙකම පරීක්‍ෂාවට ලක් කළ යුතුය. වසර පුරාම වෙළඳපලෙන් අහඹු ලෙස ලබාගන්නා සාම්පලද යම් ප‍්‍රමාණයක් පරීක්‍ෂා කිරීම සඳහාද ප‍්‍රතිපාදන ඇති කල යුතුය. ඒ සියල්ලටම වඩා දේශිය සහ ස්වාභාවික පළිබෝධනාශක භාවිතය වාණිජ වශයෙන් දිරි ගැන්වීම සඳහා ප‍්‍රතිපාදන ඇතිකළ යුතුය.
06. පළිබෝධනාශක වල සක‍්‍රීය ද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය පරීක්‍ෂා කිරීම සඳහා අවශ්‍ය පහසුකම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ශ‍්‍රී ලංකා රේගුවට නොපමාව ලබා දිය යුතුය. ඒ මඟින් අනාගතයේ විෂ සහිත නීතිවිරෝධී රසායන ද්‍රව්‍ය ආනයනය සම්පූර්ණයෙන්ම වැළැක්වීමට අවශ්‍ය පියවර ගත යුතුය.
07. දැනට වකුගඩු රෝගය වැළදී ඇති රෝගීන්ගේ සුභ සාධනය සඳහා ජාතික අරමුදලක් පිහිටුවිය යුතුය. ඒ මඟින් පර්යේෂණ ක‍්‍රියාවලිය අවසන් කොට දීර්ඝකාලීනව එම රෝගය වැළැක්වීමට පියවර ගන්නා තෙක් රෝගය වැළඳී ඇති පිරිස් රැුකබලා ගත යුතුය. ඔවුන් වන්දි ගෙවන්නේ සමස්ත රටේම පරිපාලනමය සහ නීතිමය අඩුපාඩුකම් නිසාය.
08. එසේම පළිබෝධනාශක සහ රසායනික පොහොර භාවිතය අවම මට්ටමකට ගෙන ඒම සඳහා ගොවි ජනතා සහභාගත්වයෙන් රජය විශාල උපායමාර්ගික මැදිහත්වීමක් සිදුකළ යුතුය.
09. තවද මෙම ආසනික් කුමන්ත‍්‍රණයට හවුල් වී ශ‍්‍රී ලංකා රජයට සහ මහජනයාට ආර්ථික වශයෙන් මෙන්ම මහජන සෞඛ්‍යට සහ පරිසරයටද හානි සිදුකළ රාජ්‍ය නලධාරීන්ට, විද්වතුන්ට මෙන්ම අදාල වෙළඳුන්ටද පළමු සහ අවසාන අවස්ථාව ලෙස සමාව දිය යුතුය.
10. එසේම මේ වන විට පළිබෝධනාශක ආනයනය කරන වෙළඳුන් 26 දෙනෙකු එක්ව කරනු ලබන බොරු වාණිජ ප‍්‍රචාර වලට කලබල නොවන ලෙසද අප ඔබතුමන්ලාගෙන් ඉල්ලා සිටිමුු. රාජ්‍ය නිලධාරීන් හරහා අප වෙත වාර්තා වී ඇති දත්ත අනුව වරායේ බහාලූම් කිහිපයක් නවතාගත් පමණින් රටේ පළිබෝධනාශක හිඟයක් ඇතිවන්නේ නැත. පසුගිය ආනයන දත්ත පිළිබඳ සොයා බැලීමෙන් ඔබතුමන්ලාටද ඒ පිළිබඳව දැනුවත් විය හැක. එම බොරු ප‍්‍රචාර වලට රැවටී රජය පරීක්‍ෂණ අතරමැද නවතා වරායේ රඳවා ඇති බහාලූම් පරීක්‍ෂණ වලින් තොරව නිදහස් කළහොත් මහජන ඇස් ඉදිරියේ බලවත් අපහසුතාවයකට පත්වනු ඇත. විශේෂයෙන්ම ආසනික් උපරිම ප‍්‍රමාණයක් නීතියෙන් නියම කිරීමේ භයානක උගුලට පය නොතබන ලෙස අපි ඔබතුමන්ලාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
ආසනික් කුමන්ත‍්‍රණය පරදවා රජයේ ගෞරවය රැකීමට ඔබතුමන්ලාට ධෛර්යය පතමි.
මීට
දේශයට ලැදි,
ආචාර්ය ගුණදාස අමරසේකර
සභාපති දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය
2011 ජූලි 15
No comments:
Post a Comment