Sunday, July 17, 2011

දුම්වැටි අසුරණවල රූපමය අනතුරු ඇඟවීම අනිවාර්ය කළ යුතුයි

වෛද්‍ය සමාධි රාජපක්‌ෂ

අමල් උඩවත්ත

"ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මූල්‍යමය ලාභය සඳහා ම ක්‍රියා කරන දුම්කොළ කර්මාන්තය 20 වැනි සියවසේ දී ලොව පුරා වෙසෙන මිනිසුන් මිලියන 120ක ගේ ජීවිත විනාශ කර තිබෙනවා. මේ තත්ත්වය තවදුරටත් පැතිරුණොත් 21 වැනි සියවස අවසන් වීමටත් පෙර දුම්පානයෙන් මිය යන මිනිසුන් ගේ සංඛ්‍යාව මිලියන 1000ක්‌ වෙතැයි පෙනී යනවා. ශ්‍රී ලංකාවේ පමණක්‌ වර්ෂයකට දුම්කොළ හා මද්‍යසාර නිසා මිනිසුන් 40000ක්‌ පමණ මිය යනවා." යනුවෙන් මහරගම පිළිකා ආයතනයේ වෛද්‍ය සමාධි රාජපක්‍ෂ පැවසී ය.
ජුනි 29 වැනි දින නාරාහේන්පිට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පැවැති ජීවක පදනම සංවිධානය කළ දුම්කොළ ඇසුරුම් සම්බන්ධයෙන් ජනමාධ්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයේ දී තවදුරටත් අදහස්‌ දැක්‌වූ වෛද්‍ය සමාධි රාජපක්‌ෂ "ලෝක සෞඛ්‍ය සංවිධානය රටවල් 170කට වඩා සහභාගී කරවාගෙන වසර 2005 පෙබරවාරි 27 වැනි දින ඇති කරගත් දුම්කොළ පාලන ප්‍රඥප්ති ව්‍යqහය (FCFC) ට අනුව අත්සන් කළ සියලු ම රටවල් එහි දෙවැනි වගන්තියට අනුව දුම්කොළ ආශ්‍රිත සියලු ම දුර්විපාකවලින් රටවැසියන් අරක්‍ෂා කිරීමට බැඳි සිටිනවා. ශ්‍රී ලංකාවත් මෙයට ඇතුළත්. මෙහි එක්‌ පියවරක්‌ වශයෙන් 2008 පෙබරවාරි වන විට දුම්කොළ නිෂ්පාදන ඇසුරුම්වල දුම් බීමේ ආදීනව පිළිබඳ ඇඟවීම් සටහන් කිරීමට කටයුතු කළ යුතු වෙනවා. ලෝකයේ බොහෝ රටවල් මෙය ක්‍රියාත්මක කළා. ශ්‍රී ලංකාව තවමත් ක්‍රියාත්මක කළේ නෑ.
ඒ නිසා දුම්වැටි පානය කරන්නන්ට එහි ආදිනව පෙන්වා දෙන රූපමය සටහන් දුම්වැටි ඇසුරුම්වල සටහන් කිරීම අනිවාර්යෙන්ම කළ යුතු දෙයක්‌" යනුවෙන් පැවසී ය. මෙහි දී අදහස්‌ දැක්‌වූ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා, "2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත යටතේ රෙගුලාසි වශයෙන් දුම්කොළ නිෂ්පාදන ඇසුරුම් මත රූපමය සෞඛ්‍ය අනතුරු ඇඟවීම් දැක්‌වීමේ නීතිය දැනට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා. වසර 2008 දී ක්‍රියාත්මක වීමට තිබුණත් වසර 2ක්‌ ගත වෙලත් තවමත් ක්‍රියාත්මක වුණේ නෑ. මේ වසරේ දී වත් මේ නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුයි. මේ වන විට මේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ පූර්ණ සහාය හිමි වී තිබෙනවා" යනුවෙන් පැවසී ය. 


Source: http://www.vidusara.com/2011/07/13/news1.html

No comments:

Post a Comment