Tuesday, July 19, 2011

පින්නවල අලි නිවහන රැකදෙන්න - ජනපතිතුමන්ට විවෘත සංදේශයක්‌


බුද්ධ ධර්මය සහ ශ්‍රී ලාංකීය සංස්‌කෘතිය සමඟ ඉතා සමීප සබඳකම් ඇති සත්ත්වයා ලෙස අපේ ජන සමාජයෙන් වැඩියෙන්ම ගරු බුහුමන් ලබන්නේ සද්ධන්තයන් බව ප්‍රකට කරුණකි. බුදුරදුන් බෝසත් අවධියේ ඇත් අත්භවයක උපන් බව සඳහන් වන ජාතක කතා රාශියක්‌ ඇත. සිදුහත් කුමරුගේ පිළිසිඳ ගැනීම මහාමායා දේවිය සිහිනෙන් දුටුවේද සුදු ඇත් පැටවකු එතුමියගේ කුසට පිවිසෙන අයුරිනි. උදේනි රජුගේ භද්‍රවතිකා ඇතින්න භද්‍ර යෞවනයේදී වේගවත් ඇතින්නකි. රජු ඇයට ඉතා ආදරයෙන් සැලකූ අතර ඇත්ගාල නිරතුරුව සුවඳ වතුරෙන් සෝදා පිරිසිදුව තැබුවේය. එහෙත් මහළු වියේදී ඇයට ඒ සංග්‍රහ නොලැබුණි. නිසි අහරක්‌ නොමැතිව සිරුර වැහැරී සිටි භද්‍රවතිකා බුදුරජුන් පිඬුසිගා වඩිද්දී ඉදිරියට පැමිණියාය. ඇයගේ අසරණ බව තේරුම් ගත් බුදුරජාණන් වහන්සේ ඇතින්න කෙරෙහි කරුණාවෙන් ඇය පෙර පරිදිම හොඳින් රැකබලා ගන්නැයි උදේනි රජුට උපදෙස්‌ දුන්හ. මහලු වියේ නොසලකා හැර සිටි එවැනිම ඇතින්නක ගැන පෙර සිදුවීමක්‌ ඉස්‌මතු කරමින් උන්වහන්සේ දල්හ ධම්ම ජාතකය දේශනා කර ඇත. කොසඹෑ නුවර භික්‍ෂූන්ගේ කලහය නිසා හුදෙකලාව පාරිෙල්‍යය වනයට වැඩිය බුදුරජුන්ට උවටැන් කරමින් සමීපව සිටියේ ඇත් රජකු බව වංශ කතාවේ සඳහන් වේ. පාරිෙල්‍යය නම් හේ වියළි දළ දෙකක්‌ පිරිමැදීමෙන් ගිනි දල්වා එයින් රත් කළ ගල් ගුලි පොකුණට පෙරළා දමා බුදුරදුන්ට උණු පැන් සකසා දුන් අන්දම සැදැහැ සිත් වඩන අයුරින් බෞද්ධ සාහිත්‍යයේ දැක්‌වෙයි. ඇතුන් පිළිබඳ උපමා ඇතුළත් සූත්‍ර දේශනා රාශියක්‌ ද ත්‍රිපිටකයේ ඇතුළත් වෙයි. දෙවන පෑතිස්‌ රජු සමඟ මහින්දාගමනයෙන් පසු රජුගේ ඇත්හලෙහි වියන් බැඳ සුවඳ මල් අතුරා මිහිඳු මාහිමියන්ගේ ධර්ම දේශනා පැවැත්වීමට යොදාගත් බව ද උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශන, චූල හත්ථි පදොaමක සූත්‍රය ඇතුන් සම්බන්ධ කරුණු කාරණා අතරින් ශ්‍රී සද්ධර්මය විග්‍රහයක්‌ ලෙස ද හඳුනාගත හැකිය. මෙවැනි කාරණා රැසක්‌ හේතුවෙන් අලි ඇතුන් හා ලාංකිකයන් අතර ද පැවැතියේ කිසිදා වෙන්කළ නොහැකි භක්‌ත්‍යාදරයක්‌ වුවද කාලයාගේ ඇවෑමෙන් වනාන්තර විනාශයත් සමඟ අලි ඇතුන් හා මිනිසුන් අතර මේ වන විට බරපතල විරසකයක්‌ ඇතිවී ඇති බව ද නොකිවමනාය. මේ හේතුවෙන් අසරණ භාවයට පත්වන්නා වූ අලි ඇතුන් සංරක්‍ෂණය සඳහා එක්‌දහස්‌ නවසිය හැත්තෑපහේ බලයට පත් සමගි පෙරමුණු රජයේ නාවික හා සංචාරක අමාත්‍යවරයා වූ කෑගල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී පී. බී. ජී. කළුගල්ල මහතා තම ගම් ප්‍රදේශයේ පින්නවල අලි අනාථාගාරය ගොඩනගන්නේ වනාන්තරයේ අතරමං වූ අලි පැටවුන් පස්‌දෙනකුගෙනි. අද වන විට ලොව පුරා සුප්‍රකට සංචාරක මධ්‍යස්‌ථානයක්‌ වූ පින්නවල අලි අනාථාගාරය මෙරටට පැමිණෙන විදෙස්‌ සංචාරකයන්ගෙන් 75% කගේ අලි ඇතුන් නැරඹීමේ මනදොළ නිවන්නා සේම මෙරට හස්‌ති සංරක්‍ෂණයට ද මනා පිටිවහලක්‌ ලබාදුන් බව නොරහසකි. එහෙත් ජනාධිපතිතුමන්ට අප මේ තතු කියන්නට උත්සාහ දරන්නේ ඒසා අමිල වූ පින්නවල අලි නිවහනට මේ වන විට කණකොකා හඬන්නට පටන්ගෙන ඇති බවය.

පින්නවල අලි අනාථාගාරයේ සොඳුරු දසුන් මෙන්ම එහි සංරක්‍ෂණ අරමුණු ඉටුවීම් ගැන ද එහි උපන් කුළුඳුල් අලි පැටවුන් ගැන ද අප මහත් සොම්නසින් කතා කළා. ජනාධිපතිතුමන්ගේ ද මතකයේ රැඳී ඇතැයි සිතමු. එහෙත් ගරු මැතිඳුනි, පින්නවල අලි නිවහනෙන් දැන් අතොරක්‌ නොමැතිව අසන්නට ලැබෙන්නේ හදවත කකියවන සංවේදී හා අඳුරු පුවත් බව ඔබගේ කඩිනම් අවධානයට යොමුවනු ඇතැයි සිතමු. පසුගිය නොවැම්බර් මාසයේ සිට මේ දක්‌වා අලි අනාථාගාරයේ ඇතැම් නිලධාරීන්ගේ හා සේවකයන්ගේ නොසැලකිලිමත්කම නිසා මියගොස්‌ ඇති අලින්ගේ සංඛ්‍යාව හතරකි. 2010 නොවැම්බර් 26 දා අලි නිවහනේ සිටි "කදිරා" රෝගාතුරව මිය ගියේය. ඉනික්‌බිති මේ වසරේ ආරම්භයේදීම ජනවාරි 17 දින "නීලගිරි" නම් පින්නවල අලි අනාථාගාරයේ සිටි ප්‍රතාපවත්ම හස්‌තියා බීමත් අලි බලන්නන් කීපදෙනකුගේ කුරිරු හෙණ්‌ඩු පහරින් තුවාල ලබා ඉතා අවාසනාවන්ත ආකාරයෙන් අපා දුක්‌ විඳ මරණයට පත්වීමද, ඔබතුමන් වෙත සිහි කැඳවුණු කැමැත්තෙමු. ඒ මතුදු නොව ඉන් මසක්‌ ගතවන්නටත් පෙර පෙබරවාරි පස්‌වැනිදා "රන්මලී" නම් ඇතින්න රෝගාතුරව මියගිය අතර බලධාරීන් ප්‍රකාශ කළේ වෙනත් අලියකුගේ පහරදීමක්‌ මෙම මරණයට හේතු වූ බවය. ජනාධිපතිතුමනි, පින්නවල අලි අනාථාගාරයේ දිවි ගෙවූ අසරණ සද්ධන්තයින් පසුපස හඹා ආ අවාසනාව ඉන් ද නොනැවතිණි. ඉකුත් ජුනි 04 වැනිදා අලි නිවහනේ සිටි "කාන්ති" නම් ඇතින්න පසුගිය මාර්තු 28 වැනිදා බිහි කළ කිරිකැටි අලි සිඟිත්තා මාඔයේ ගිලී මරණයට පත්වනතුරු ද ජනතාවගේ මුදලින් වේතන ලබන බලධාරීන්ද, නිලධාරීන්ද, සේවකයන්ද මර නින්දේ පසු වූ බව ඔබතුමන් වෙත ඉතා ගෞරව සම්ප්‍රයුක්‌තව රපෝර්තු කරනු කැමැත්තෙමු.

ජනාධිපතිතුමනි, පින්නවල අලි අනාථාගාරය ආරම්භ කර ගෙවුනු වසර 35 ක කාලය ඇතුළත මියගිය අලි ඇතුන්ගේ සංඛ්‍යාවත් පසුගිය මාස 07 ක්‌ වැනි ඉතා කෙටි කාලයක්‌ ඇතුළත මියගිය අලින්ගේ සංඛ්‍යාවත් එක සමාන බව ඔබ වෙත වාර්තා කරන්නේ මහත් ඉච්ඡාභංගත්වයෙනි. මින් පෙර මරණයට පත් වූ අලි ඇතුන්ගෙන් දෙදෙනකුම මරණයට පත්ව තිබුණේ වනාන්තරයේදී කෲර දඩයක්‌කරුවන් විසින් සිදුකළ අමානුෂික වද හිංසා හේතුවෙනි. ඒ හැර එක්‌ අලි පැටවකු සංචාරකයන් විසින් කෑමට දුන් රසකැවිලි සහිත පොලිතින් මල්ලක්‌ දිරවාගත නොහැකිව ද අනෙකා උපතේදීම සිදු වූ සංජානනීය ආබාධයකින් ද මරණයට පත්වී ඇත.

තත්ත්වය එසේ වෙද්දී "නීලගිරි" හස්‌තියා මරණයට පත්වන්නේ එම අසරණ සද්ධන්තයා රැකබලා ගැනීම භාරව සිටි ඇත්ගොව්වන්ගේම අති අමානුෂික හා තුච්ඡ ක්‍රියාකලාපය හේතුවෙන් බව ද ඉනික්‌බිති ඉකුත්දා මරණයට පත්වූ අලි සිඟිත්තා මරණයට පත්වන්නේ මාඔයේ ගල් දෙබොක්‌කාවක ගිලී ඇත්ගොව්වන් විසින් අපරික්‍ෂාකාරී වීම නිසා බව ද මේ මිහිමත අප හැමගේම භාරකාරයා වන ජනාධිපතිතුමන්ගේ කඩිනම් අවධානයට යොමුවනු ඇතැයි අප උදක්‌ම අපේක්‍ෂා කරමු.

මේ ආකාරයෙන් පසුගිය ඉතා කෙටි කාලසීමාව පුරා සිදු වූ හස්‌ති ඝාතන සම්බන්ධයෙන් අදාළ බලධාරීන් නිසි ක්‍රියාමාර්ගයක්‌ ගත් බවක්‌ ද අසන්නට නොමැති බව ඔබතුමන් වෙත ඉතා බැගෑපත්ව සිහිපත් කරන්නේ මේ ආකාරයෙන් අපගේ මාතෘභූමියේ අගනා සම්පත් ඈලියාවට යැම රටට ආදරය කරන අපට කිසිසේත්ම දරාගත නොහැකි බැවිනි.

මෙපරිද්දෙන් වැටත් නියරත් ගොයම් කෑමේ ප්‍රතිඵලයක්‌ ලෙස පින්නවල අලි නිවහන අසරණ සද්ධන්aතයන්ට ඝාතනාගාරයක්‌ - වධකාගාරයක්‌ වී ඇති පසුබිමක්‌ තුළ ඇතැම් අවස්‌ථාවාදීන් එහි වෙසෙන අලි ඇතුන්a ඉතා කූට උපක්‍රමයන්ගෙන් ඔවුන්ගේ පටු වාසි ප්‍රයෝජන සඳහා ගොදුරු කර ගැනීමට උත්සාහ දරන බව ද දැනගන්නට ලැබේ. මෙරට සංස්‌කෘතික හර පද්ධතීන්ගේ තිර පැවැත්ම උදෙසා අලි ඇතුන්ගේ යම් අවශ්‍යතාවයක්‌ පවතින බවට කිසිදු සැක සංකාවක්‌ අප වෙත ද නොවෙන බව මෙහිදී ජනාධිපතිතුමන් වෙත බැගෑපත්ව දන්වා සිටිනු කැමැත්තෙමු.

මින් පෙර ද අවස්‌ථා ගණනාවකදී හීලෑ අලි උන්මාදයෙන් පෙළෙන ඇතැමුන්ගේ පටු අවශ්‍යතා සපුරාගනු වස්‌ පින්නවල අලි නිවහනෙන් අලි ඇතුන් නිල නොනිල වශයෙන් පෞද්ගලික හිමිකාරිත්වයට පැවරුණු අවස්‌ථා රහසක්‌ නොවේ. නමුත් ජනාධිපතිතුමනි, ඒ අලි ඇතුන් ඉතා සුබදායක ලෙස තමන්ගේ ජීවිතය එම පෞද්ගලික භාරකරුවන් යටතේ ගතකළද නොඑසේ නම් වහල් සේවකයන් ලෙස අපා දුක්‌ විඳ අකාලයේ මරණයට පත්වූවාද යන්න සොයාබැලීම, ඔබතුමන්ට මෙරට අලි පරපුර වෙනුවෙන් කළ හැකි අමිල මෙහෙවරක්‌ වෙතැයි සිතමු. ඒ මන්දයත් ඔබ මෙදියත වෙසෙන මනු සතුන්ගේ පමණක්‌ නොව සෑම වන ප්‍රාණියකුගේ ද භාරකරුවා වන බැවිනි.

ඒ සම්බන්ධයෙන් අප සතුව ඇති ඉතා ආසන්නතම අඳුරු මතකය මෙහිදී ඔබ හමුවේ ගෙනහැර දක්‌වන්නට අප තීරණය කළේ හීලෑ අලි අවශ්‍යතාවය වෙනුවෙන් කඩේ යන ඇත්තන්ගේ සත්භාවය ප්‍රශ්නාර්ථයක්‌ බව ඔබතුමන්ට සාධක සහිතව කියාපෑමටය. පින්නවල අලි අනාථාගාරයේ දිවි ගෙවූ "කපිල" එකල ඉතා නිරෝගිමත් තරුණ සද්ධන්තයෙකි. වර්ෂ 2003 දී මෙම අලියා රාගම වල්පොළ පුරාණ රජමහා විහාරය වෙත පූජා කරනු ලබන්නේ ද මෙරට ජනතාව හා අලි ඇතුන් අතර පවතින සංස්‌කෘතික බැඳීම සංකේතවත් කිරීමේ අරමුණිනැයි සිතමු. නමුත් එවකට 17 වැනි වියේ පසු වූ මෙම තරුණ සද්ධන්තයා තමාගේ ජීවිතයේ ගතකළ සොඳුරුතම කාලසීමාව අතීතයක්‌ පමණක්‌ බවට පත්කරමින් ඉනික්‌බිති ගතකර තිබුණේ වහල් ජීවිතයක්‌ බව ජනාධිපතිතුමන්ගේ කාරුණික අවධානයට යොමුකරනු කැමැත්තෙමු. විහාරස්‌ථානයේ අපේක්‍ෂිත සැපවත් ජීවිතය පසෙක තබා "කපිල" ඉන්පසු ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ වහල් සේවකයෙක්‌ බවට පත්විය. වරෙක හබරණ ප්‍රදේශයේ විදේශිකයන් තම කර මත තබාගෙන "සµdරි" ගමන් සිදුකිරීමට ද කපිලට සිදුවිය. නිසි අහරක්‌ හෝ සෞඛ්‍ය ගැන සොයාබැලීමක්‌ නොමැතිව දිවා රෑ බැල මෙහෙවරෙහි යෙදුණු කපිල එන්න එන්නම කෘෂ වී අන්ත දුක්‌ත තත්ත්වයට පත්විය. කාලය ගෙවී යද්දී මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන් "කපිල" ගේ භාරකරුට උපදෙස්‌ ලබාදුන්නේ අලියාගේ රෝගී තත්ත්වය නිසා පෙරහැරවලට හා බර වැඩවලට නොයොදා "කපිල" ට යම් විවේකයක්‌ ලබාදෙන ලෙසය. නමුත් එයින් ද තම ධන ලෝභය හික්‌මවාගත නොහැකි වූ වධකයන් කපිල දෙපා වාරු නොමැතිව ඇදවැටෙන තුරුම එම අසරණයාගේ ශ්‍රමය සූරා කෑවෝය. එහි අවසාන ප්‍රතිඵලය කපිල මන්දපෝෂණය නිසා අකාලයේ මරණයට පත්වීමය.

එහෙයින් ජනාධිපතිතුමනි, මේ මිහිමත වෙසෙන අප හැමගේම භාරකරුවා වන ඔබතුමන් සානුකම්පිත දෙනෙතින් මෙම උභතෝකෝටිකය දෙස බලනු ඇතැයි අප උදක්‌ම අපේක්‍ෂා කරමු. මේ මොහොත වන විට ද පින්නවල අලි අනාථාගාරයේ දිවි ගෙවූ අලි ඇතුන් දාසයදෙනකු දිවයිනේ නොයෙක්‌ ප්‍රදේශවල පෞද්ගලික භාරකාරිත්වයට පමුණුවනු ලැබ ඇත. එසේම එම උවදුර ඉන් නොනැවතී තවදුරටත් පින්නවල අලි නිවහනේ සද්ධන්තයන් බිලිගන්නට සැදී පැහැදී සිටින බව ද අප දනිමු. ඉදින් ජනාධිපතිතුමනි, මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් 75% ක්‌ පින්නවල අලි අනාථාගාරය වෙත පැමිණෙන බව ශ්‍රී ලංකා සංචාරක මණ්‌ඩලයේ වාර්තා පවා සාක්‍ෂි සපයන බව ඔබතුමන් දන්නවා ඇතැයි සිතමු. ඒ පින්නවල ඇති පොල් ඉඩම හෝ ගොඩනැඟිලි හෝ මාඔයේ බොර පාට ජලය නරඹන්නට නොවන බව ද දෙවරක්‌ සඳහන් කළයුතු නැත. පින්නවල අලි නිවහනට ඇති ආර්ථික වටිනාකම එපරිදිය. රටක්‌ ලෙස ඔබගේ සෙවනේ ආසියාවේ ආශ්චර්යය වන්නට පෙරුම්පුරන මෙම සොඳුරු ලක්‌බිමට උරුම මෙවැනි අසමසම උරුමයන් වැනසී යන්නට නොදී අලි අනාථාගාරය ආරක්‍ෂා කර දෙන්නට කටයුතු කරන මෙන් ඔබ තුමන්ගෙන් ඉල්ලා සිටිමි.

පින්නවල අලි අනාථාගාරය ආරම්භ කර ගෙවුණු වසර 35 ක කාලය ඇතුළත මියගිය අලි ඇතුන්ගේ සංඛ්‍යාවත් පසුගිය මාස 07 ක්‌ වැනි ඉතා කෙටි කාලයක්‌ ඇතුළත මියගිය අලින්ගේ සංඛ්‍යාවත් එක සමාන බව ඔබ වෙත වාර්තා කරන්නේ මහත් සංවේගයෙනි. මින් පෙර මරණයට පත් වූ අලි ඇතුන්ගෙන් දෙදෙනකුම මරණයට පත්ව තිබුණේ වනාන්තරයේදී කෲර දඩයක්‌කරුවන් විසින් සිදුකළ අමානුෂික වද හිංසා හේතුවෙනි. ඒ හැර එක්‌ අලි පැටවකු සංචාරකයන් විසින් කෑමට දුන් රසකැවිලි සහිත පොලිතින් මල්ලක්‌ දිරවාගත නොහැකිව ද අනෙකා උපතේදීම සිදු වූ සංජානනීය ආබාධයකින් ද මරණයට පත්වී ඇත.
සුපුන් ළහිරු ප්‍රකාශ්


Source: http://www.divaina.com/2011/07/19/feature02.html

No comments:

Post a Comment