Saturday, July 16, 2011

මුතුරාජවෙල කිඹුල්ලු අභය භූමියේ වැඩකටයුතු කඩිනමින් අවසන් කරනවා

යෝජිත අභය භූමිය පරීක්‌ෂා කිරීමේ සංචාරයේදී 
ඇමැති එච්. එම්. චන්ද්‍රසේන කියයි 


අනුර බාලසූරිය

ජෛව විවිධත්වයෙන් හෙබි මුතුරාජවෙල පරිසර පද්ධතිය හා එහි කිඹුලන් වෙනුවෙන් වෙන් කිරීමට යෝජිත අභය භූමිය පරීක්‌ෂා කර බැලීමට ගොවිජන සේවා හා වනජීවී ඇමැති එස්‌. එම්. චන්ද්‍රසේන මහතා ඉකුත්දා එහි ගියේය.

ශ්‍රී ලංකාවේ කිඹුලන් වෙනුවෙන් වෙන් කෙරෙන ප්‍රථම උද්‍යානය මෙය වන බව ඇමැතිවරයා සඳහන් කළේය. 

සංක්‍රමණික හා දේශීය කුරුලු විශේෂයන් ගෙන් හා කලපු ආශ්‍රිත මත්ස්‍යයන් ගහන මුතුරාජවෙල ජෛව විවිධත්වයෙන් හෙබි අගනා පරිසර පද්ධතියක්‌ බවත් එහි ස්‌වභාසෞන්දර්ය දෙස්‌ විදෙස්‌ සංචාරයන්ට දැක බලාගැනීමට අවස්‌ථාව සැලසීමට සංචාරක කලාපයක්‌ ලෙස සංවර්ධනය කෙරෙන බවත් ඇමැතිවරයා පැවැසීය.

කිඹුලන් සඳහා වන අභය භූමිය ඉතා ඉක්‌මනින් ඇති කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කළ ඇමැතිවරයා මෙම සංචාරක කර්මාන්තයටද වැදගත් වනු ඇතැයි කීවේය.

එමෙන්ම මෙම පරිසර පද්ධතිය තුළ නොයෙකුත් අකටයුතුකම් සිදුකෙරෙන බවට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළ ඇමැතිවරයා එම තත්ත්වයන් මැඬපවත්වා ජාතික අභය භූමියක්‌ ලෙස සංරක්‌ෂණය කෙරෙන බව සඳහන් කළේය.

මෙම පරිසර පද්ධතිය අධ්‍යාපනික හා පරීක්‌ෂණ කටයුතු ප්‍රවර්ධනයට ඉවහල් වනු ඇතැයිද පැවසීය.

රට තුළ අනතුරට ලක්‌වන හා අතරමං වන කිඹුලන් එකතැනකට ගෙනවිත් සංරක්‌ෂණය කිරීම කිඹුලන් සඳහා වෙනම උද්‍යානයක්‌ ඇති කිරීමේ ප්‍රධාන අරමුණ බව වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තු නිලධාරියෙක්‌ පැවසීය.

ඇමැතිවරයා ඇතුළු පිරිස හැමිල්ටන් ඇළ, මීගමුව කලපුව, දඬුගම්ඔයේ බෝට්‌ටු සවාරියක නිරතවෙමින් කඩොලාන පරිසර පද්ධතිය කිඹුලන් වෙනුවෙන් වෙන් කිරීමට යෝජිත ස්‌ථානය නිරීක්‌ෂණය කළහ.

මෙම ක්‍ෂේත්‍ර සංචාරයට වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‌ෂ ජෙනරාල් වෛද්‍ය චන්ද්‍රවංශ පතිරාජ මහතා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ උසස්‌ නිලධාරීහු පිරිසක්‌ එක්‌වූහ.


Source: http://www.divaina.com/2011/07/16/news13.html

No comments:

Post a Comment