Tuesday, July 19, 2011

සුදු හඳුන් කිලෝ 5100ක් ගෙන ගිය 11ක් කොටුවෙති

වටිනාකම රුපියල් ලක්ෂ 75ක්

වැලිමඩ ගුරුතලාව කදුරුදෙක ප්‍රදේශයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය සුදුහඳුන් එක් රැස් කරන මධ්‍යස්ථාන 2 ක් වටලා රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා සුදුහඳුන් දැව කිලෝ 5100 ක් වැලිමඩ පොලිසිය අත්අඩංගුවට පත්ව ඇත. වැලිමඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බුද්ධික ඒකනායක මහතා ඇතුළු නිලධාරීන් හඳුන් තොගය පරීක්ෂා කරන අයුරු. ඡායාරූපය: වැලිමඩ සමූහ ආර්. රාජමන්තී

රුපියල් ලක්ෂ 75 කට අධික වටිනාකමින් යුත් සුදුහඳුන් කිලෝ 5100 ක් සමඟ සැකපිට ව්‍යාපාරිකයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනෙක් වැලිමඩ බෝගහකුඹුර ගුරුතලාව ප්‍රදේශයේදී වැලිමඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

සුදුහඳුන් තෙල් සිඳීමට යොදාගත් උදුන් හතරක් ද මොවුන් ළඟ තිබී අත්අඩංගුවට ගනු ලැබිනැයි පොලිසිය කීය.

මේ සුදුහඳුන් ජාවාරම පස්පංගු කසාය පැකට් නිෂ්පාදනය කරන මුවාවෙන් කාලයක් තිස්සේ හොර රහසේ මහ පරිමාණයෙන් පවත්වාගෙන ගොස් ඇතැයි ද උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
ගුරුතලාව බෝගහකුඹුර ප්‍රදේශයේ නිවසක ගබඩාවක සඟවා තිබියදී මේ සුදුහඳුන් තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර, පිට පළාත්වල සිට විවිධ පුද්ගලයින්ගෙන් රුපියල් 1500 – 1600 වැනි මුදලකට සුදුහඳුන් කිලෝවක් මිලදී ගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේය.

වැලිමඩ ගුරුතලාව, කඳුරුදෙක, බෝගහකුඹුර, අලුගොල්ල ප්‍රදේශවල පදිංචි මේ සැකකරුවන් වැලිමඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

වැලිමඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බුද්ධික ඒකනායක මහතාගේ මෙහෙයවීම මත පරීක්ෂණ පැවැත්වේ.

No comments:

Post a Comment