Thursday, December 1, 2011

අලින්ගේ වාස භූමියට දෙපිරිසක්‌ පොරකති

ගොවි සංවිධාන සභාපති හිතවත්කමට ඉඩම් දීලා
- ගොවින්ගෙන් චෝදනා


දෙහිඅත්තකණ්‌ඩිය - රණතුංග

වස්‌ගමුවේ සිට මහවැලි ගඟ තරණය කර මහවැලි සී කලාපයේ දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රදේශ යේ ගොවි ගම්මානවලට වන අලි කරදර හේතුවෙන් ජීවිත හා දේපළ වගාබිම් රැසක්‌ විනාශ වී ඇත.

සමහර මිනිස්‌සු අලින්ට බියක්‌ නොදක්‌වති. ඇතැම් අවස්‌ථාවල මිනිසුන්ගේ ක්‍රියාකාරකම් වලින් අලින්ටද මහා විනාශයන් සිදු වූ අවස්‌ථාද දැක ගත හැකිය. මිනිස්‌සු අත වරද තබාගෙන මහවැලි හා වන ජීවී නිලධාරීන්ට උද්ඝෝෂණ උපවාස කරති. මහවැලි ගඟෙන් මෙගොඩට වන අලින්ට රිසිසේ සිටීමට තිබූ හෙක්‌ටයාර් 2000 ක්‌ පමණ රජයට අයත් ඉඩම් මහවැලි හා අනවසර ගොවීන් විසින් අල්ලා ගෙන ගොවිතැන් කිරීම හේතුවෙන් දෙහිඅත්තකණ්‌ඩිය හුංගමාලගම ප්‍රදේශයේ දෙපිරිසක්‌ අතර මත ගැටුමක්‌ද ඇතිවී පිරිස්‌ විරසකවීමටද හේතු වී ඇත.

මෙම මත ගැටුමට මුල් වී ඇති කණ්‌ඩායම් දෙක වන්නේ හුංගමාලගම ගොවි සංවිධාන සභාපතිගේ කණ්‌ඩායම හා වසර කීපයක්‌ සිට ගොවිතැන් කටයුතු කළ කණ්‌ඩායමකි.

හුංගමාලගම සුගත් රත්නායක මහතා මේ පිළිබඳව අදහස්‌ දක්‌වමින්. මෙම ඉඩම්වල කැලෑව සුද්ධ කරලා මහන්සි වෙලා වසර ගානක කාටවත් කරදරයක්‌ නොකර වගා කරලා අපි මුදලක්‌ සොයා ගත්තා. මේක දැකලා ගොවි සංවිධාන සභාපතිගේ කණ්‌ඩායම අපි සංවර්ධනය කළ ඉඩම් මුදලක්‌ රැගෙන ඔහුගේ හිතවතුන්ට බෙදාදීලා තියෙනවා. මේක හරිම වැරැදි දෙයක්‌. නිලධාරීන්ගේ උපදෙස්‌ මත ගොවි සංවිධාන සභාපති මෙහෙම කරනවා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. කාටවත් කරදරයක්‌ නොකර ජීවත් වුණු අපිට මේ නිසා ආදායම් මාර්ගයක්‌ අහිමි වී ගිහින්.

එම්. එම්. සමන්ත ලාල් - අම්මා මියගියේත් අලියෙක්‌ ගහලා. නමුත් අපිට ජීවත් වෙන්න වෙන ක්‍රමයක්‌ නැහැ. රජයට අයිති මෙම ඉඩම් වගා කරලා හේනෙන් එන ආදායම්වලින් යම් ආදායමක්‌ සොයා ගන්න පුළුවන්. ඒක නැති කරන්න උත්සාහ කිරීම අසාධාරණයක්‌.

හුංගමාලගම ඩී. ජී. ප්‍රේමරත්න මහතා - මම අවුරුදු 10 - 11 ක්‌ මේ කැලෑව කපලා හේන් වගාව කළා. අනවශ්‍ය අයට ඉඩම් දීලා තිබුණත් හමුදාවේ ඉන්න මගේ පුතාලට ඉන්න ඉඩම් කෑල්ලක්‌ නැහැ. ඉල්ලුවාට දෙන්නෙත් නැහැ. ගොවි සංවිධාන සභාපති රුපියල් 1200 ක්‌ රැගෙන කමිටුවක්‌ හදලා ඒයාගේ හිතවතුන්ට ඉඩම් කට්‌ටි බෙදාදීලා තිබෙනවා. මෙතෙක්‌ කල් ඉඩම් වගා කරපු අයට ගොවි සංවිධාන සභාපති මේ කන්නයේ වගා කරන්න දෙන්නේ නැහැ. දෙවන ඉඩම්ලාභීන්ට පවා ඉඩම් දෙන්නේ නැහැ. සභාපතිට කිසිම බලයක්‌ නැහැ සල්ලි එකතු කරන්න. ගොවි සංවිධාන ව්‍යවස්‌ථාවේ කිසිම තැනක මුදල් එකතු කරන්න කියලා නැහැ. රජයේ ඉඩම් බලෙන් අල්ලාගෙන රුපියල් 10000 ට වෙනත් අයට වගා කරන්න ඉඩදීලා. ගොඩමඩ ඉඩම් විකුණලා තිබෙන අයත් ගොවි සංවිධාන සභාපතිගේ හිතවත් කමට අයථා විදිහට ඉඩම් ලබාදීලා තියෙනවා යෑයි කීය.

හුංගමාලගම පදිංචි ඩබ්. කේ. ශ්‍රියානි මහත්මිය

මේ හේන වගා කරලා තමයි දරුවන් සමඟ මම ජීවත්වුණේ. කිසිම කෙනකුට අත පාන්නේ නැතුව හේන වගා කරලා ආදායමක්‌ ලබාගෙන. ගොවි සංවිධාන සභාපතිගේ හිතවතුන්ට හොඳ ඉඩම් දීලා තියෙනවා. අපිට අලිවැට ළඟ ඉඩම් දෙන්න හදනවා. රජයේ ඉඩම් නිසා සභාපතිගේ හිතූමතයට හා අනිසි බලයක්‌ ගෙන අයථා විදිහට කටයුතු කරනවා.

අලි වැට නඩත්තුකරු වන ඒ. ජී. සරත් කුමාර මහතා - හුංගමාලගම අලි වැට නඩත්තු කරු ලෙස සුළු දීමනාවක්‌ ලැබෙනවා. අලි වැටටම තියෙන්නේ කණු 13 යි. මේ රක්‍ෂිතය හඳුනාගන්න වනජීවි නිලධාරීන් දන්නේ නැහැ. එම නිසා මිනිස්‌සු මේ කන්නයේ ඉඩම් අල්ලා ගෙන වැඩ කරනවා. මේ කන්නයට විතරක්‌ ගොවි සංවිධානය මගින් මෙම ඉඩම් බදුදීලා තියෙනවා. ඉඩම් අල්ලා ගන්න උත්සාහ කරන සමහර අය අලි වැට නඩත්තු කරන්න එන්නේ නැහැ. අලි ගමට එන එක නවත්වන්න බැහැ. මිනිස්‌සු තමන්ට අයිති නැති දේවල් කරන්න ගිහින් මොනවා හරි වුණාම නිලධාරීන්ට බනිනවා.

ගොවි සංවිධාන සභාපති ඩබ්. ඇම්. ටිකිරිබණ්‌ඩා මහතා - තාවකාලිකව බදු මුදලක්‌ රැගෙන මෙම ඉඩම් දෙන්න බලයක්‌ නැහැ. මගේ හිතවතුන්ට ඉඩම් දෙන්නේ නැහැ. මම මහවැලි කොට්‌ඨාස කළමනාකරු. ඉඩම් නිලධාරි ඒකක කළමනාකරු යන අයගේ උපදෙස්‌ මතයි මෙම ඉඩම් ලබා දෙන්නේ.

ගොවි සංවිධාන සභාපති අයථා ලෙස සමහර මහවැලි නිලධාරීන්ගේ බලය රැගෙන මෙම ඉඩම් බෙදාදීලා තිබෙනවා.

වස්‌ගමුවේ සිට මහවැලි ගඟ මැදින් එන වල් අලි ගමට එන්නට පෙර සිටි මෙම කැලෑව සුද්ධ කිරීම අනුවනකමක්‌ කර බව හුංගමාලගම ප්‍රදේශවාසීහු පැවසූහ.

රජයේ ඉඩම් මෙවැනි හිතුවක්‌කාර ලෙස බෙදාදීම නිසා මෙම පිරිස අතර ඇතිවීමට යන ගැටුම්කාරී හා මතබේද නැති කිරීමට නිලධාරීන් වශයෙන් ඉදිරිපත් විය යුතු බවත් නිලධාරීන්ට තිබෙන බලය ගමේ සිටින අයට ලබාදීම නිසා ගමේ ජනතාව බේදවීම වැළැක්‌වීමට කටයතු කළ යුතු බව කිව යුතුය.


http://www.divaina.com/2011/12/01/provin05.html

No comments:

Post a Comment