Wednesday, December 28, 2011

දුම්වැටි අසුරණවල රූපමය අනතුරු ඇඟවීම් ප්‍රමාද වන්නේ ඇයි?

ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලට අනුව විසි වැනි සියවසේ දී දුම් බීම නිසා ලොව පුරා මිලියන 100කට අධික ප්‍රමාණයක්‌ මරණයට පත් විය. මේ දුම් බීමේ ප්‍රවණතාව දිගට ම පැවතිය හොත් 21 වැනි සියවස අවසන් වන විට එය බිලියන 01 දක්‌වා වැඩි විය හැකි ය. වසර 2030 වන විට එය බිලියන 8 දක්‌වා වර්ධනයක්‌ පෙන්නුම් කළ හැකි ය. සිගරට්‌ දුමෙහි විෂ රසායන ද්‍රව්‍ය 4000කට වැඩි ප්‍රමාණයක්‌ ඇත. මෙයින් රසායන ද්‍රව්‍ය 250ක්‌ ඉතා ම හානිකර වන අතර රසායන ද්‍රව්‍ය 50කට වඩා වැඩි ප්‍රමාණයක්‌ පිළිකාකාරක වෙයි.



ශ්‍රී ලංකාවේ වර්තමානයේ බෝ නො වන රෝග සහ මරණ ඇති කිරීමේ ප්‍රධානතම හේතුව දුම් පානය වෙයි. ශ්‍රී ලංකාවේ වාර්ෂික දුම් බීම ආශ්‍රිතව සිදු වන රෝගවලින් මරණ 20000කට වඩා සිදු වෙයි. හෘද රෝග නිසා සිදු වන මරණ සංඛ්‍යාව සියයට 30ක්‌ වන අතර එයට ප්‍රධාන හේතුව දුම්පානයයි. දුම්කොළ භාවිතය දුම් පානයෙන් හා බුලත් විට කෑමෙන් සිදු වෙයි. වර්තමාන ශ්‍රී ලංකාවේ දත්තවලට අනුව පිරිමින් සියයට 33ක්‌ හා කාන්තාවන් සියයට 9ක්‌ දුම්කොළ භාවිතයට හුරු වී ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව පිළිබඳව තවදුරටත් විමසීමේ දී වැඩිහිටියන් අතර සිදු වන දුම් පානයේ බලපෑමෙන් අක්‍රිය දුම් පානයට ගොදුරු වන්නන් බරපතළ හෘද රෝග, ශ්වසන රෝගවලට ගොදුරු වීම බහුල වෙයි. මේ අතර හෘද කිරීටක රෝග (Cardio vascular Deseases) සහ පෙනහලු පිළිකා බහුල වෙයි. ළදරුවන් අතර හදිසි මරණ හා ගර්භණී මවුවරුන් අතර අඩු බර දරු උපත් ද සිදු වෙයි. කෙසේ වුවත් තුන් වැනි ලෝකයේ සංවර්ධනය වන රටක්‌ වශයෙන් දුම්පානය පිටුදැකිය යුතු කාලය දැන් පැමිණ ඇත. එහෙත් අප ප්‍රමාද ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය රටවල් 170ක්‌ සහභාගි කරවාගෙන වසර 2005 පෙබරවාරි 27 වැනි දින ඇති කරගත් දුම්කොළ පාලන ප්‍රඥප්ති ව්‍යqහයට අත්සන් කිරීමෙන් පසු එසේ අත්සන් තැබූ සියලු ම රටවල් ප්‍රඥප්තියේ 11 වැනි වගන්තියට අනුව දුම්කොළ නිෂ්පාදන ඇසුරුම් මත රූපමය සෞඛ්‍ය අනතුරු ඇඟයීම් ප්‍රචාරය කිරීමට බැඳී සිටී. මෙහි එක පියවරක්‌ ලෙස වසර 2008 පෙබරවාරි මස වන විට ඉහත කී අයුරින් රූපමය සෞඛ්‍ය අනතුරු ඇඟවීම් ලෝකයේ රටවල් ගණනාවක්‌ ක්‍රියාත්මක කළත් තවමත් ශ්‍රී ලංකාව දුම්වැටි ඇසුරුම්වල රූපමය සෞඛ්‍ය අනතුරු ඇඟවීම් මුද්‍රණය නො කර යල් පැන ගිය හණමිටි අනතුරු ඇඟවීම පමණක්‌ සඳහන් කිරීම, මතට තිත ක්‍රියාත්මක කරන රටේ කෙරෙන එක්‌තරා විහිළුවකි. මේ වන විට බ්‍රසීලය, කැනඩාව, සිංගප්පූරුව සහ තායිලන්තය වැනි රටවල මේ රූපමය අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව සිදු කළ අධ්‍යයනවලින් පෙනී යන්නේ දුම්බීමේ හානිකර තත්ත්ව පිළිබඳව ජනතාව ගේ දැනුම ඉතා ම ඉහළ ගොස්‌ ඇති බවයි. ලෝකයේ ජනගහනයෙන් සියයට 15ක්‌ නියෝජනය වන අයුරින් රටවල් 19ක සාර්ථකව රූපමය අනතුරු ඇඟවීම්, දුම්වැටි ඇසුරුම් සඳහා යොදා ගනී.

පසුගිය 22 වැනි දින මහරගම ජාතික පිළිකා ආයතනයේ දී ජීවක පදනම විසින් සංවිධානය කරන ලද දුම්වැටි අසුරණ සඳහා රූපමය අනතුරු ඇඟවීම් පිළිබඳව අදහස්‌ දැක්‌වීමේ සම්මන්ත්‍රණයේ දී මහරගම ජාතික පිළිකා ආයතනයේ පිළිකාවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සනත් වනිගසූරිය මහතා අදහස්‌ දැක්‌වූයේ මේ අයුරිනි.

බෝ නො වන රෝග සඳහා ප්‍රධාන හේතු කාරක අතර දෙවැනි හේතු කාරකය වන්නේ දුම්කොළයි. ශ්‍රී ලංකාවේ වසරකට 20000කට අධික ප්‍රමාණයක්‌ දුම්කොළ ආශ්‍රිත ආශ්‍රිත රෝගවලින් මිය යනවා. ශ්‍රී ලංකාවේ සිදු වන මරණවලින් සියයට 30ක්‌ පමණ හෘද රෝග නිසා සිදු වන මරණ. මේ හෘද රෝගවලට ප්‍රධානතම හේතුව වන්නේ දුම්පානයයි. දුම්පානය හා පිළිකා ගත් විට සියලු ම පිළිකාවලින් සියයට 30ක්‌ දුම්කොළ නිසා හටගන්නවා. පිළිකා ප්‍රධාන කාණ්‌ඩ තුනකට බෙදෙනවා. ගලනාළය ආශ්‍රිත පිළිකා, මුඛය ආශ්‍රිත පිළිකා, සහ පෙනහළු පිළිකා යනුවෙන් ඒවා හඳුන්වනවා. මේවාට අමතරව මුත්‍රාශයේ, අක්‌මාවේ සහ ශරීරයේ අනෙක්‌ ඉන්ද්‍රියයන් හා අවයවවලත් පිළිකා ඇති වෙනවා. කාන්තාවන් ගේ පියයුරු හා ගැබ් ගෙල පිළිකා හට ගන්නවා. වසර 2008 වාර්තාවලට අනුව සමස්‌ත පිළිකාවලින් වැඩි ම ප්‍රමාණයක්‌ හටගෙන තිබෙන්නේ උගුර ආශ්‍රිතවයි. පිරිමින් ගෙන් සියයට 39ක්‌ තුළ මුඛ කුහරය ආශ්‍රිතව පිළිකා හා උගුර ආශ්‍රිත පිළිකා වාර්තා වෙනවා. පෙනහලු සම්බන්ධ පිළිකාවල ප්‍රතිශතය සියයට 13ක්‌ පමණ වෙනවා. ගලනාළය සම්බන්ධ පිළිකා ප්‍රතිශතය සියයට 11ක්‌. ඒ වගේ ම ස්‌වරාලය හා සම්බන්ධ පිළිකා ප්‍රතිශතය සියයට 9ක්‌ පමණ වෙනවා. මේ සියලු ම ප්‍රතිශත ගණන් එකතු කළොත් සියයට 72ක්‌ පමණ වෙනවා. මෙතරම් විශාල පිළිකා ප්‍රතිශතයකට හේතුව පිරිමින් ගේ දුම්කොළ භාවිතයයි. මෙතරම් විශාල හානියක්‌ කරන දුම්කොළ හා දුම්වැටි භාවිතය පිළිබඳව තවදුරටත් අධ්‍යයන කළ යුතු වෙනවා. කාන්තා පක්‌ෂය දුම්පානයේ නිරත නො වන නිසා මුඛ ආශ්‍රිත පිළිකා දක්‌නට නො ලැබුණත් සුළු ප්‍රමාණයක ගේ බුලත් විට සමඟ දුම්කොළ කෑම නිසා මුඛ පිළිකා හටගත් බවට අනාවරණය වී තිබෙනවා. පිළිකාවලට වැඩි වශයෙන් ගොදුරු වන්නේ තරුණ පිරිසයි. මෙසේ තරුණ පිරිස අධික ලෙස දුම්පානයට ගොදුරු විම තුළින් රෝගීන් බවට පත් වීමෙන් ආර්ථිකයේ පසුබෑමක්‌ ඇති වෙනවා. නිදසුනක්‌ ලෙස වසය අවුරුදු 35ක්‌ පමණ වන විට දුම්වැටි පානය කරන අය ගේ මුඛ පිළිකා ඇති වීම ක්‍රමයෙන් වර්ධනය වන ආකාරය පෙන්වා දිය හැකියි. මේ තත්ත්වය වයස අවුරුදු 70ක්‌ පමණ දක්‌වා දක්‌නට ලැබෙනවා. මේ හානිය රටේ ආර්ථිකයට පමණක්‌ නො ව තමන් ගේ ආර්ථික පරිහානියටත් හේතුවක්‌ වෙනවා. ඒ පමණක්‌ නො වෙයි, දූ දරුවන් ගේ අධ්‍යාපන කටයුතුවලට හා අනෙකුත් වැදගත් කටයුතුවලටත් බෙහෙවින් ම බලපානවා. මෙහි දී කිව යුතු දෙයක්‌ තමයි සක්‍රිය දුම්පානයට එක පුද්ගලයකු පමණක්‌a සෘජුව ම ගොදුරු වුවත් ඔහු ගේ දුම්පානය නිසා අක්‍රිය දුම්පානයට ගොදුරු වන අය ගේ ප්‍රමාණය විශාලයි. ඒ නිසා කිසියම් අයෙක්‌ මහජනයා ගැවසෙන ස්‌ථානයක දුම්පානයේ යෙදී සිටිනවා නම් ඊට විරුද්ධ වීමේ අයිතියක්‌ ජන සමාජයේ ඕනෑ ම අයෙකු තිබෙනවා. මොකද දුම්වැටියක තිබෙන අහිතකර ද්‍රව්‍ය ශරීරගත වීමේ ප්‍රවණතාව දුම්වැටි පානය කරන අයට වඩා අවට සිටින අය ගොදුරු වීමේ ප්‍රවණතාව 50 ගුණයකින් වැඩි නිසා.

දුම්කොළ සමාගම්

මෙයින් පැහැදිලිs වන දෙයක්‌ නම් ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා විසිරී තිබෙන දුම්කොළ සමාගම් තරුණ පිරිස්‌ දුම්පානය සඳහා යොදවා ගැනීමට විවිධ උපක්‍රම භාවිත කරන බවයි. මේ සඳහා දුම්කොළ සමාගම් භාවිත කරන උපක්‍රම කීපයක්‌ පිළිබඳව විමසා බලමු. ලෝක ප්‍රකට පිලිප් මොරිස්‌ ගේ Marketing of Children නම් වාර්තාවේ මෙසේ සඳහන් වෙයි.

සිගරට්‌ එකක්‌ යනු මමයි. තවදුරටත් මම මගේ මව ගේ දරුවා නො වේ. දුම්බීම ආරම්භයේ දී පුද්ගලයකුට සිගරට්‌ටුව සංකේතයකි, මම දැඩි කෙනෙකි, මම නව අත්දැකීම් සොයන්නෙමි, මම සාධාරණ නො වෙමි. කල් යැමේ දී සිගරට්‌ටුවේ සංකේතාක්‌මක වටිනාකම පහ වී ගොස්‌ දුම්බීම පුරුද්දක්‌ බවට පත් වෙයි.

බෙන්සන් හා ඇන්ඩ් හෙජස්‌ සිගරට්‌ නිෂ්පාදන සමාගම නිකුත් කළ වාර්තාවකි මේ. තරුණයන් දුම්බීමෙන් වැළැක්‌වීමේ වැඩසටහන් මර්දනය කළ යුතු ය. සිගරට්‌ කර්මාන්තය ප්‍රධාන වශයෙන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක්‌ වන්නේ තරුණයන් දුම්බීමෙන් වැළැක්‌වීමට ගෙන යන අධ්‍යාපනික වැඩසටහන් වැඩි වීමයි. අවුරුදු 14 සිට 18 දක්‌වා වයසැති පුද්ගලයන් වෙනුවෙන් සිගරට්‌ වර්ග නිෂ්පාදනය කරවූ, තරුණයන් දුම්පානයට යොමු කරවීම සඳහා වෙළෙඳ දැන්වීම් ඉදිරිපත් කරන R.S.Ronalds සමාගම යොදාගත් නිරූපකයකු වන වේඩ් ගොලිට්‌ස්‌ පවසන්නේ මෙවන් අදහසකි. වයස්‌ගත ව මිය යන දුම් බොන්නන් සහ දුම්පානය අතහැර දමන්නන් වෙනුවට තරුණ දුම්පානය කරන්නන් ඒ සඳහා ඇද ගැනීම මා ගේ කාර්යයයි. නව යෞවනයන්ට දුම්බීම පිළිබඳව යහපත් ප්‍රතිමූර්තියක්‌ නිර්මාණය කිරීම මා ගේ කාර්යයයි. 1995 වසර වන විට ලක්‍ෂ 5ක්‌ තරුණ පිරිසක්‌ දුම්පානයට ඇද ගැනීම මාගේ කාර්යය විය. මේ ජාත්‍යන්තර දුම්කොළ සමාගම්, තරුණ පරපුර දුම්පානයට නතු කර ගැනීමට දරන උත්සාහයන් ගෙන් ඉතා ම සුළු ප්‍රමාණයකි. ශ්‍රී ලංකාව තුළ මේ අයුරින් ම නො වුවත් ඉතා ම සූක්‌ෂ්ම ලෙස අනියම් ආකාරයට පාසල් දරුවන් මෙන් ම තරුණ තරුණියන් ද ඇදගැනීමට මෙරට දුම්කොළ සමාගම් යොදන විවිධ උපක්‍රම පිළිබඳව මීට පෙර අවස්‌ථා කිහිපයකදී ම හෙළිදරව් වී ඇත.

මේ කියමන දෙසත් ඔබ ගේ සවන් යොමු කර බලන්න. අදින් වසර කිහිපයකට පෙර වෘත්තීයමය සිනමා නළුවකු වන Alan
Landers ශ්‍රී ලංකාවට පැමිණියේ ය. ඔහු තරුණ වියේ සිට ම තම දෙතොල මත දැල්වූ දුම්වැටියක්‌ රඳවා නිතර ම රූපවාහිනිය තුළින් දුම් බීමේ දර්ශන ප්‍රදර්ශනය කරමින් දුම්බීම සඳහා මිනිසුන් පෙලඹවූයේ දුම්කොළ සමාගම් වෙනුවෙනි. ඔහු තම කඩවසම් පෙනුම, හැඩිදැඩි බව, සෞඛ්‍ය සම්පන්න බව සහ දක්‌ෂ රඟපෑම් හේතුවෙන් ඇමෙරිකානු ජනතාව අතර ජනප්‍රියත්වයට පත් වූ අයෙක්‌ විය. ඔහු දුම්බීම ආරම්භ කර ඇත්තේ වයස අවුරුදු 9 දී ය. දිනකට සිගරට්‌ පැකට්‌ 2ක්‌ පමණ භාවිත කර ඇත. ඔහු මෙරටට පැමිණීමෙන් පසු එක්‌තරා ස්‌ථානයක දී පැවැත්වූ දේශනයක දී මෙසේ පැවසී ය.

දුම්බීමෙන් මිදීම දුෂ්කරයි. නමුත් ඔබ එයින් මිදීම ඉතා ම වැදගත්. ඔබ එයින් මිදීමට ඉක්‌මන් වීම ඔබ ගේ ආයු කාලය වැඩි කර ගැනීමට හේතුවක්‌. ශ්‍රී ලාංකික දරුවනි, වැඩිහිටියනි, දුම්කොළ සමාගමට ඔබ මෝඩයකු කිරීමට ඉඩ නො දෙන්න. ඔහු අනාගතයේ අප ගේ දරුවන් මේ භයානක උවදුරෙන් ආරක්‌ෂා කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරන මෙන් ද නීති සම්පාදකයින් ගෙන් ඉල්ලා සිටියේ ය. දුම්කොළ නිෂ්පාදන ඇබ්බැහිකාරි ද්‍රව්‍යයක්‌ ලෙස හඳුන්වන ආකාරයට ප්‍රචාරය කරන ලෙසත් දුම්වැටි පිළිබඳ කරන ප්‍රචාර නැති කරන ලෙසත් ඔහු බල කර සිටියේ ය. තව ද දුම්බීම නිසා මරණයට පත් වූවන්ටත් රෝගී වූවන්ටත් වන්දි ගෙවන ලෙස ඔහු දුම්කොළ සමාගමට බල කර සිටියේ ය.

ඔහු ගේ මේ දේශනයට ඇහුම්කම් දුන් ශ්‍රී ලාංකික දරුවෙක්‌ තම පියා අමතා කිසි ම දිනක දුම්පානය නො කරන මෙන් ඉල්ලා සිටියේ ය. දිනකට දුම්වැටි 30ක්‌ උරමින් සිටි මේ දරුවා ගේ පියා තම දරුවා ගේ කතාවෙන් කම්පිත වී පසු දින ම කොළඹ සිට නුවර බලා ගොස්‌ ඇලන් ලැන්ඩර්ස්‌ ගේ දේශනයකට සවන් දී තම පුතා ගෙන් උගත් පාඩමෙන් දුම්බීමේ පුරුද්දෙන් අත්මිදුණේ ය.

ලොව ප්‍රකට හෙවිවේට්‌ බොක්‌සිං ශූරයකු වූ ජෝප්‍රේසර් නොබෝ දා මිය ගියේ ය. 1944 ජනවාරි 12 වැනි දින උපන් ඔහු 2011 නොවැම්බර් 7 වැනි දින මිය යන විට ඔහු ගේ වයස අවුරුදු 67ක්‌ විය. අධික ලෙස දුම්පානයට ඇබ්බැහි වී සිටි ඔහුව මිතුරන් හැඳින්වූයේ Smoking Joe යනුවෙනි. ඔහු ගේ මිය යැමෙන් පසු වෛද්‍යවරුන් විසින් පවත්වන ලද වෛද්‍ය පරීක්‍ෂණයෙන් අනාවරණය වූයේ අධික ලෙස දුම්පානය මරණයට හේතු වූ බවයි. මෙවැනි නිදර්ශක ලෝකයේ සැම රටකින් මෙන් ම ශ්‍රී ලංකාවේ ද සොයා ගැනීමට අපහසුවක්‌ නැත. කෙසේ වෙතත් මතට තිත තැබීමට කථා කරන උදවිය දුමට තිත නො තබන්නේ ඇයි ද යන්න ද ගැටලුවකි.

එසේ නම් රූපමය අනතුරු ඇඟවීම් කඩිනමින් දියත් කළ යුත්තේ ඇයි ද යන්න විමසිය යුතු වෙයි. එය අලුතින් දුම්වැටි පානය වැළැක්‌වීමට මෙන් ම දුම්වැටි පානය කරන්නන් ඉවත් කිරීමටත් ආධාරකයක්‌ වේ.


අමල් උඩවත්ත

(විශේෂ ස්‌තූතිය-මහාචාර්ය කාලෝ ෙෆාන්සේකාට, වෛද්‍ය සමාධි රාජපක්‍ෂට සහ ජීවක පදනමට)

http://www.vidusara.com/2011/12/28/feature2.html

No comments:

Post a Comment