Saturday, December 24, 2011

පලතුරු එළවළු නැවුම්ව තබා ගැනීමට ඉටි ආලේපනයක්

තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික තාක්ෂණ ආයතනය මගින් පලතුරු හා එළවළු නැවුම්ව තබා ගැනීම සඳහා භාවිතා කළ හැකි නව ඉටි ආලේපනයක් නිෂ්පාදනය කර ඇත.

මෙම ඉටි ආලේපනය දිවයිනේ කෘෂි අංශය වෙත ප්‍රචලිත කිරීම සඳහා එය හඳුන්වා දීමත් එහි නිවැරදි භාවිතය පිළිබඳ ප්‍රායෝගික දැනුවත් කිරීමක් ද සහිතව ‘නැවුම් එළවළු සහ පලතුරු පසු අස්වනු තාක්ෂණය’ පිළිබඳ වැඩමුළුවක් පසුගියදා කාර්මික තාක්ෂණ ආයතනයේදී පවත්වන ලදී.

අස්වැන්න නෙළීමෙන් පසු වෙළෙඳ පොළ වෙත පලතුරු හා එළවළු ගෙන යාමට පෙර මෙම ඉටි ආලේපනය යෙදීමෙන් ප්‍රවාහනයේදී සිදුවන හානි අවම කර ගැනීමත් වැඩි කාලයක් කල් තබා ගැනීමේ හැකියාවත්, ක්ෂුද්‍ර ජීවීන්ගෙන් සිදුවන හානිය අවම කර ගැනීමට හැකියාවත් තිබේ. එසේ ම වැඩි කාලයක් පලතුරු ඉදීමෙන් තොරව ගබඩා කර තැබීමේ හැකියාවත් මෙම ඉටි ආලේපනයෙන් සිදුවේ.

දේශීය වෙළෙඳ පොළේ මෙතෙක් පැවැති ආනයනික ඉටි ආලේපන වලට විකල්පයක් ලෙස කාර්මික තාක්ෂණ ආයතනය මෙම ඉටි ආලේපනය හඳුන්වා දී ඇැති අතර එය නිෂ්පාදනය කරනු ලබනුයේ ස්වභාවික ආහාර ද්‍රව්‍යයන්ගෙන් වීම විශේෂත්වයක් වේ.

එබැවින් එය පලතුරු හා එළවළු සඳහා භාවිතා කිරීමෙන් සෞඛ්‍යයට කිසිදු අහිතකර තත්ත්වයක් ඇති නොවන බව කාර්මික තාක්ෂණ ආයතනය තහවුරු කර ඇත.


http://www.silumina.lk/2011/12/25/_art.asp?fn=aa11122514

No comments:

Post a Comment