Thursday, December 29, 2011

ජංගම දුරකථන භාවිතය පරිස්සමෙන්

සන්ධ්‍යා කරුණාරත්න

පිළිකා රෝගය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපාන සාධකය ජංගම දුරකථනය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම සමීක්ෂණ වාර්තාවලින් පෙන්වාදෙයි.

ඒ අනුව ජංගම දුරකථන භාවිතයේ බලපෑම මඟින් පිළිකා සෑදීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවත් මනා කල්පනාවෙන් යුතුව ජංගම දුරකථනය භාවිතා කිරීමේ කාලය දැන් එළැඹ ඇති බවත් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා මහජනතාවට දැනුම්දෙයි.

මෙරට ජනගහනය දෙකෝටියක් වුවත් මේ වන විට මෙරට ජංගම දුරකථන දෙකෝටි දසලක්ෂයක් භාවිත වන බවත් එක් පුද්ගලයෙක් ජංගම දුරකථන දෙකක් හෝ තුනක් භාවිත කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

පුද්ගලයන් රෝගී බවට පත්කිරීම පමණක් නොව පුද්ගලයන් අතර වංචා දූෂණ, හොර මැරකම්, ස්ත්‍රී දූෂණ හා වෙනත් සමාජ විරෝධී ක්‍රියාකාරකම් සිදු කිරීමට ද ජංගම දුරකථනය හේතු වී ඇතැයි ඇමැතිවරයා සඳහන් කරයි.

මිනිසාගේ සුබසිද්ධිය සඳහා නව තාක්ෂණය යොදා ගත යුතු වුවත් බොහෝ පුද්ගලයන් එය වැරැදි විදියට යොදා ගැනීම කනගාටුවට කරුණක් බව ද ඇමැතිවරයා පවසයි.

මීට අමතරව ජංගම දුරකථනය කනේ ගසාගෙන පාර මාරුවීම හා රිය පැදවීම සිදු කරන නිසා හදිසි අනතුරු බොහෝ ප්‍රමාණයක් සිදු වන බවත් මේ සියල්ලගේම අවසාන බලපෑම සිදු වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බවත් පැවසූ ඇමැතිවරයා ජංගම දුරකථන භාවිතය නිසා සිදුවන සියලුම අනතුරුවලට ප්‍රතිකාර කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට විශාල වියදමක් දැරීමට සිදු වන බවත් කීය.

මෙරට සියලුම ජංගම දුරකථන පැය 24ක් පුරා විසන්ධි කර තැබුවොත් කුමක් සිදුවේද යන්න සිතාගත නොහැකි යැයි ද සොර මැරකම්, දූෂණ වංචා, ස්ත්‍රී දූෂණ හා වෙනත් සමාජ විරෝධි ක්‍රියා බොහොමයක් අඩු වීමට එය හේතු වනු ඇතැයි ද ඇමැතිවරයා පැවැසීය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය විදියට ජංගම දුරකථන නියාමනය සඳහා මෙන්ම නව තාක්ෂණය මහජන සුබසිද්ධිය සඳහාම යොදා ගැනීමට වැඩපිළිවෙළ රැසක් ආරම්භකර තිබීම සතුටට කරුණක් බව ද ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

ලෝකයේ කිසිම රටක ජංගම දුරකථනය හෝ අන්තර්ජාලය හෝ මනා නියාමනයකින් යුක්තව පවත්වාගෙන යාමට කටයුතු නොකරන බවත් මෙරට ඉදිරි පරපුරේ අභිවෘද්ධියටත්, නව තාක්ෂණය හරහා සිදුවන සමාජ විරෝධි ක්‍රියා නැවැත්වීමටත් ඒවා මනා නියාමනයකින් යුක්තව පවත්වාගෙන යාමට අවශ්‍ය නීති මේ වන විට සම්පාදනය කිරීමට රජය කටයුතු කර ඇති බවත් ඇමැතිවරයා පැවැසුවේය.


http://www.dinamina.lk/2011/12/29/_art.asp?fn=n11122912

No comments:

Post a Comment