Tuesday, December 27, 2011

Unhygienic Vegetable Racket at Dambulla (2 Items)

නරක්‌ වූ අල, ලුනු රටටම බෙදෙන ජාවාරමක්‌ දඹුල්ලේදී අසුවෙයි

සීගිරිය - සරත් එරමිණිගම්මන

මිනිස්‌ පරිභෝජනයට නුසුදුසු අයුරින් නරක්‌ වූ අර්තාපල් අල සහ ලොකු ලූනු තොග දඹුල්ලේදී ශුද්ධ කර ආර්ථික මධ්‍යස්‌ථානයේ වෙළෙඳ සල් හරහා මුළු රටටම බෙදා හැරීමේ මහා පරිමාන ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරියේ වැටලීම් කණ්‌ඩායමකට පෙරේදා (25 දා) හැකි විය.

ලද තොරතුරක්‌ මත ශ්‍රී ලංකා පාරිභෝගික අධිකාරියේ සහ දඹුල්ල පොලිසියේ පරිසර ඒකකයේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානය ආසන්නයේ පිහිටි ගබඩා දෙකක්‌ පරීක්‌ෂා කිරීමේදී කුණු වූ සහ පනුවන් ගසා තිබූ අල සහ ලොකු ලූනු තොග ශුද්ධ පවිත්‍ර කරමින් සිටි, කාන්තාවන් වැඩි දෙනකු පමණ දැක ගැනීමට ලැබී තිබේ. මෙවැනි අල සහ ලොකු ලූනු කන්ටේනරයක්‌ රුපියල් 8000 කට කොළඹ වෙළෙඳ පොළින් මිලදී ගෙන ශුද්ධ කර දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානය හරහා බෙදා හැරීමේ ජාවාරමක්‌ ව්‍යාපාරිකයන් දෙදෙනකු විසින් කාලයක්‌ තිස්‌සේ කරගෙන ගොස්‌ ඇති අයුරු විමර්ශනවලදී අනාවරණය වූ බව පාරිභෝගික අධිකාරියේ මාතලේ දිස්‌ත්‍රික්‌ ප්‍රධානි ඒ. එම්. ජනක්‌ සමන්ත මහතා පැවැසීය.

එම ගබඩා දෙකෙහි පමණක්‌ අල සහ ලොකු ලූනු කිලෝ ලක්‌ෂයකට අධික ප්‍රමාණයක්‌ ගබඩා කර තිබූ බවත්, ඒවාට මුද්‍රd තැබූ බවත් හෙතෙම කීය. යාපාගම ප්‍රදේශයේදී ලොකු ලුනූ කිලෝ 100 ක්‌ අත්අඩංගුවට ගත් බවද හෙතෙම පැවැසීය. ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්‌ථානයේ මේ ජාවාරමට සම්බන්ධ ව්‍යාපාරිකයන් දෙදෙනකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද හෙතෙම වැඩි දුරටත් පැවැසීය.


http://www.divaina.com/2011/12/27/news11.html


මිනිස් පරිභෝජනයට නුසුදුසු අල-ලූනු තොගයක් අත්අඩංගුවට

සීගිරිය විශේෂ සහ මාතලේ දිස්ත්‍රික් සමූහ


මිනිස් පරිභෝජනයට නුසුදුසු අල හා ලොකු ලූණු කිලෝ ලක්ෂයකට අධික ප්‍රමාණයක් දඹුල්ල ප්‍රදේශයේ ගබඩා තුනක තිබී පෙරේදා (25) (නත්තල්දා) සොයාගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ගබඩා දෙකක් හා යාහගම ප්‍රදේශයේ එක් ගබඩාවක් මේ අයුරින් පරීක්ෂාවට ලක්කැර සීල් කරනු ලැබීය.

ව්‍යාපාරිකයන් තිදෙනකුට නඩු පවරන බව පාරිභෝගික අධිකාරිය පැවසීය.

මාතලේ පාරිභෝගික අධිකාරි කාර්යාලය සහ දඹුල්ල පොලිසියේ පරිසර ඒකකය එක්ව මෙම වැටලීම සිදුකරනු ලැබීය.

පාරිභෝගික සේවා අධිකාරියට ලැබුණු තොරතුරක් මත වැටළීම සිදුකරන ලද අතර වැටලීම සිදුකරද්දී මිනිස් පරිභෝජනයට නුසුදුසු අල තොගයක් ගබඩාවක තබාගෙන කම්කරුවන් 50ක් පමණ යොදාගෙන ඉතා සූක්ෂම අයුරින් මේවා සුද්ද කරමින් හොඳ අල ගෝනිවලට දමමින් සිටි බව පාරිභෝගික සේවා අධිකාරිය පැවසීය.



ඇතැම් අලවල හා ලූණුවල පණුවන් රැසක් සිටි බවත් මේවා කොළඹ වරායෙන් ඉවත් කරන අල බවත් අඩු මුදලට රැගෙනවිත් සුද්ද පවිත්‍ර කොට හොඳ අලවලට කලවම් කැර වැඩි මුදලට අළෙවි කරන බවට තොරතුරු ලැබී තිබුණු බවත් මාතලේ පාරිභෝගික අධිකාරියේ ප්‍රධානි ඒ. එම්. ජේ. සමන්ත මහතා පැවසීය.

අල කන්ටේනර් එකක් රුපියල් 8000ක මුදලකට රැගෙන එන බවද තොරතුරු ලැබී ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දඹුල්ල පොලිසියේ පරිසර ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඊ. ජී. ආර්. ඇල්ලෙපොල මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායම එම ව්‍යාපාරිකයන් නරක් වූ අල පරිසරයට මුදාහැරීමට විරුද්ධව වෙනම නඩු පවරණ බව පැවසීය.

පාරිභෝගික අධිකාරියේ මාතලේ ඒකකයේ ප්‍රධානී ඒ. එම්. ජේ. සමන්ත, රේණුක කුමාර,, අනුරාධ වීරසේකර, එස්. ඒ. සදාක්, දඹුල්ල පොලිසියේ පරිසර ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඊ. ජී. ආර්. ඇල්ලෙපොල , පො. සැ. 54292 චන්ද්‍රකුමාර, පො. කො. 12558 ආරියවංශ, 441988 හෙට්ටිආරච්චි, 5141 බණ්ඩාර යන අය වැටලීමට එක්වූහ.


http://www.dinamina.lk/2011/12/27/_art.asp?fn=n11122712

No comments:

Post a Comment