Thursday, December 29, 2011

කොළඹ-නුවර අධිවේගී මගේ ඉදිකිරීම් නව වසරේ

අසේල කුරුළුවංශ හා ඉන්දික පොල්කොටුව

මෙරට දෙවැනි අධිවේගී මාර්ගය ලෙස මහනුවර කොළඹ අධිවේගී මාර්ගයේ වැඩකටයුතු උදාවන නව වසරේ ආරම්භ කිරීමට සැලසුම් කැර ඇති බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා මල්වතු-අස්ගිරි මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ ඊයේ (28) පැවසුවේය.

වැඩි දෙනෙකුගේ ප්‍රයෝජනය සඳහා පෙර තිබුණු සැලැසුම වෙනස් කැර කොළඹ සිට කුරුණෑගල හරහා මහනුවර දක්වා අධිවේගී මාර්ගය ඉදිකරන බව ජනපතිවරයා පවසයි.

මේ අධිවේගී මාර්ගය කොළඹ සිට රඹුක්කන ඔස්සේ මහනුවර දක්වා ඉදිකිරීමට මෙයට පෙර සැලැසුම් කැර තිබිණි. කුරුණෑගල හරහා මහනුවර දක්වා මාර්ගය ඉදිකිරීමේදී වැඩි පිරිසකට එහි ප්‍රතිලාභ හිමිවීමත් ඉඩම් අහිමිවන පිරිස් සඳහා ගෙවිය යුතු වන්දි මුදල් ප්‍රමාණය අවම වීමත් නිසා නව සැලසුම දියත් කිරීමට රජය තීරණය කැර තිබේ.

නව මාර්ගයේ කඳුසහිත ප්‍රදේශ අවම වීම නිසා මාර්ගය ඉදිකිරීම සඳහා වැයවන මුදලද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුවනු ඇත.

නව අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා ආයෝජකයින් අටදෙනකු පමණ මේ වන විට ඉදිරිපත්ව ඇතැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

http://www.dinamina.lk/2011/12/29/_art.asp?fn=n1112292

No comments:

Post a Comment