Tuesday, December 27, 2011

ගල්, වැලි, සිමෙන්ති වෙනුවට ස්වාභාවික පස් උපයෝගී කරගෙන ඉදිකළ නිවෙසක්

ඉංගිරිය මධ්‍යම සමූහ ප්‍රියදර්ශනී කහවල


ස්වභාවික පස් යොදා තැනූ මිශ්‍රණයෙන් ඉදිකර ඇති බිත්තියක්.
ඡායාරූපය – ඉංගිරිය මධ්‍යම සමූහ

පොළවෙන් ලබා ගන්නා ස්වභාවික පස් උපයෝගී කර ගනිමින් බිත්ති ඉදිකර, වැලි සහ සිමෙන්ති සඳහා යන වියදම සියයට හැත්තෑ පහකින් ඉතිරි කර නව ක්‍රමයකට ඉදිකරන ලද නිවෙසක් ඉංගිරිය ප්‍රදේශයේදී අපට හමුවිය.


මෙම අපුරු නිවෙසේ හිමිකරු ඉංගිරිය, ගාල්ලෙගම ජේ. කුලරත්න මහතා.


කුලරත්න මහතාට මෙම නව තාක්ෂණ පිළිබඳ අවබෝධය ලබාදී ඔහුව මේ සඳහා යොමුකර ඇත්තේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදාතා අංශයේ ක්ෂේත්‍ර සම්බන්ධීකාරක කේ. හේමන්ත මහතාය.


හේමන්ත මහතා මෙම නව ක්‍රමය පිළිබඳව “නර්ඩ්” ආයතනයෙන් පුහුණුව සහ දැනුම ලබාගෙන ඇති අතර, එම දැනුම ගමට ගැළපෙන අයුරින් යොදා ගනිමින් මෙම අඩු වියදම් නිවෙස ඉදිකර තිබේ.


පස් කොටස් 16 කට එක් සිමෙන්ති කොටසක් ලෙස යොදා ගනිමින් සාදන ලද මිශ්‍රණයත්, සිමෙන්ති ගල් සෑදීමට ගන්නා ලී අච්චුවලට දමා සාදාගත් ගඩොල් වැනිම වු හතරැස් කොටස් නිවසේ බිත්ති බැඳීම සඳහා යොදාගෙන ඇත. මෙම ගඩොල් වැනි කොටස්, සාමාන්‍ය නිවෙසක් සිමෙන්ති ගල්, ගඩොල් එක මත එක තබා බිත්ති බඳින ආකාරයටම එක මත එක තබමින් බිත්ති සියල්ල ඉදිකර ඇති අතර එම කොටස් එකිනෙක සම්බන්ධ කිරීමටද අවශ්‍ය මිශ්‍රණය තනා ඇත්තේද පස් උපයෝගී කර ගනිමිනි. ඒ සඳහා පස් කොටස් 7 කට එක් සිමෙන්ති කොටසක් මිශ්‍ර කරමින් එම මිශ්‍රණය තනා තිබේ.


මෙලෙස යොදා ගත් පස්, එම ප්‍රදේශයේ පොළොවේ අඩි 4 ක් පමණ යටින් ඕනෑම ස්ථානයකදී සොයාගත හැකි බව කුලරත්න මහතා පැවැසීය.


මේ ආකාරයට ඉදිකරන ලද බිත්ති සඳහා අමුතුවෙන් වර්ණ ආලේප කිරීමක් අනවශ්‍ය වන අතර, ඉදිකිරීමේදී යොදා ගන්නා ලද පස්වලින්ම බිත්තිවලට අවශ්‍ය පැහැය ස්වභාවිකවම ලැබී ඇති අයුරු අපට දැකගත හැකිවිය.


මෙම බිත්ති ඕනෑම වර්ෂාවකට ඔරොත්තුª දෙන අතර දැඩි හිරු රශ්මිය සහිත දිනවලදී වුවද මෙම බිත්ති මගින් නිවස තුළට සිසිලසක් ගෙන දෙන බව කුලරත්න මහතාගෙන් දැනගත හැකිවිය.

http://www.dinamina.lk/2011/12/27/_art.asp?fn=r1112272

No comments:

Post a Comment