Wednesday, December 28, 2011

ඖෂධ මිල පාලනයට අපි විරුද්ධ වුණේ නෑ

ඖෂධ කර්මාන්ත සංසදය කියයි

ඖෂධ මිල පාලනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත සංසදය තරයේ විරුද්ධ බව කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ බව එම සංසදය අවධාරණය කරයි. තම සංගමය ප්‍රකාශ කළේ වර්තමානයේ භුක්ති විඳින යහපත් සෞඛ්‍ය හා ඖෂධ පිළිබඳ තත්ත්වය ඇතුළත මෙවැනි මිල පාලනයක් සිදුවුවහොත් එම ක්ෂේත්‍රයේ දැනට ඇති සාධනීය තත්ත්වයට තර්ජනයක් විය හැකි බව පමණක් බවද ප්‍රකාශ කරයි.

ඖෂධ කර්මාන්තය සියයට 65 ක ලාභයක් ලබන බව ප්‍රකාශ වුවද එය හුදෙක් ලාභය පමණක් නොව ආනයන, ගබඩා කිරීම්, බෙදාහැරීම් වියදමේ සිට පාරිභෝගිකයා වෙත ඖෂධ ලැබීම දක්වා වියදම් ද ඇතුළත් වියදම් ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් බවද සංසදය පෙන්වා දෙයි. වෙළෙඳපොළේ ප්‍රමිතියෙන් ඉහළ ඖෂධ හීන වීමේ වාතාවරණයක් මතු විය හැකි බවත් සංසදය කියයි.

එසේම මිල පාලනයක් සිදු වුවහොත් ශ්‍රී ලංකා වෙළෙඳපොළ වෙත ඇතැම් ඖෂධ පැමිණීම නතර වීමට ඉඩකඩ නිර්මාණය විය හැකි බවද, ඉල්ලුම වෙනුවෙන් සැපයුම නොමැති වූ විට වෙළෙඳපොළේ පවත්නා සීමිත ඖෂධ ප්‍රමාණයෙහි මිල ඉහළ යාමක් සිදු විය හැකි බවද, ඖෂධ සඳහා වෙන්කළ යුතු පිරිවැය ද ඒ හේතුවෙන් වැඩිවිය හැකි බවද පෙන්වා දෙයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් රජය හෝ සෞඛ්‍ය ඇමැතිවරයා හෝ ගන්නා ඕනෑම තීරණයකට හෝ ක්‍රියාමාර්ගයකට උපරිම සහයෝගය ලබාදීමට සූදානම් බවත්, සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ අත්දැකීම් ලද්දන් ලෙස එම ක්‍රියාමාර්ගයන්හි අඩුලුහුඩුකම් ඇතොත් පෙන්වාදීමට පසුබට නොවිය යුතු බවත් ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත සංසදය නිකුත් කැර ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


http://www.dinamina.lk/2011/12/28/_art.asp?fn=n11122815

No comments:

Post a Comment