Saturday, December 24, 2011

දළදා වැඩමවූ ගාමිණී ඇත් රජු අවසන් ගමන් යයි

සුජාතා ජයරත්න


මීරිගම, අඹේපුස්‌සේ බෝතලේ වලව්වේ ගාමිණී ඇත් රජු පසුගියදා අවුරුදු 80 ක්‌ පමණ ජීවත්ව සිට මිය ගියේය.

අලව්ව කහඹිලියාව වත්තක මාස 6 ක පමණ කාලයක සිට රෝගාතුරව සිටි ගාමිණී ඇත් රජු මියයන තෙක්‌ම බිම දිගා නොගෙන සිටගෙනම සිටි බවත් නිදාගැනීමටත් බිම දිගා වීමට නොහැකි තත්ත්වයක පසුවූ බව ඇත් රාජයා රැක බලා ගත් විපුලසේන මහතා පැවැසීය. පාදයක ආබාධය හේතුවෙන් සහ වයෝවෘද්ධ භාවය නිසාම රෝගාතුර වූ මෙම ඇත් රජුට ඇවිදීමට අපහසු වීම නිසාත් බිම දිගාවීමට සැලැස්‌සුවහොත් නැගිට වීමට නොහැකි නිසා අට්‌ටාලයක ආධාරය ඇතිව මාස 6 ක කාලයක්‌ එකම ඉරියව්වෙන් තැබීමට සිදු වූ බව කඳුළු පිරි දෙනෙතින් ඒ මහතා පැවැසීය.

මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මහතාගේ ගල්ඔය ව්‍යාපාරය කරන සමයෙහි කැලෑවේ සිට මෙම ඇත් පැටවා ඒ මහතාගේ වාහනය දෙසට පැමිණ සිටි බව පැවසේ. එයින් පසු සේනානායක මහතා මෙම ඇත් පැටවා බෝතලේ වලව්වට රැගෙන විත් රැකබලාගත් බවද තතු දන්නෝ පවසති.

මහනුවර ශ්‍රී දළදා පෙරහැරේ දළදා කරඬු වහන්සේ වැඩම කිරීමේ භාග්‍ය ලද මෙම ඇත් රජු දැලේද ගමන් කොට ඇත. තවද බෝතලේ මහ පෙරහැරේ 23 වතාවක්‌ රත්නපුර සමන් දේවාලය, කෝට්‌ටේ පෙරහැර, කොළඹ ගංගාරාමයේ පෙරහැර, බෙල්ලන්විල, මාතලේ, නවගමුව ආදී පෙරහැර රාශියක කරඬුව රැගෙන ගොස්‌ ඇත. මෙවැනි කාර්යයක්‌ කිරීමේ ඉතාමත් තේජවන්ත භාවයක්‌ බොහෝම ආඩම්බර ලීලාවෙන් ගමන් කරන දර්ශනය බොහෝ අවස්‌ථාවලදී දැකගැනීමට හැකි බව පෙරහැර අවසානයේ දී කරඬුව වහන්සේ නැවත බාරදීමේදී ඇස්‌ දෙකින් කඳුළු ගලනා ආකාරය කාගෙත් දෙනෙතට කඳුළක්‌ නැගෙන අවස්‌ථාද දැක ඇති බව ආදාහනය සඳහා පැමිණ සිටි අය පැවැසූහ.

අනෙකුත් අලි ඇතුන්ට වඩා දැඩි හීලෑ ඇතෙක්‌ වූ ගාමිණී ඇත් රජු කිසි දිනෙක කුලප්පු වීමක්‌ හෝ හිංසාකාරී ලෙස හැසිරීමක්‌ හෝ කර නැති බව ඇතා රැක බලා ගත් විපුලසේන මහතා පැවැසීය.

පසුගියදා බෝතලේ රාජමහා විහාරාධිපති මහෝපාධ්‍යය කඩිගමුවේ පේමානන්ද නායක ස්‌වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සෙත් පිරිත් සඡ්Cධායනා කරමින් නිදුක්‌ නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමින් සෙත් පැතූහ. උන්වහන්සේ නිතර දෙවේලේ පිරිත් කියමින් ආහාර රැගෙන ඇත් රජු බැලීමට ගියේද බෝතලේ පෙරහැරේ දීර්ඝ කාලයක්‌ තිස්‌සේ කරඬුව වහන්සේ වැඩම කිරීමේ මහඟු කාර්යයට කෘතගුණ සැලකීමක්‌ ලෙසටය.

මීට පෙර මියගිය මිල්ලන්ගොඩ ඇතාගෙන් පසුව ලංකාවේ වයෝවෘද්ධම ඇතා වන බෝතලේ ගාමිණී ඇත් රජු මියයන විට අලව්වේ කහඹිලියාව ප්‍රදේශයේ වත්තේ සිට ඇතාගේ නිසල දේහය ලොරියක පටවා ගෙන විත් අඹේපුස්‌ස බෝතලේ වලව්වට රැගෙන ආ අතර කඩිගමුවේ පේමානන්ද නායක ස්‌වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් පාංශුකූලය දීමෙන් අනතුරුව බෝතලේ වලව්වේදී අවසන් කටයුතු සිදු කෙරිණි.


http://www.divaina.com/2011/12/25/feature04.html

No comments:

Post a Comment