Saturday, July 9, 2011

වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 17 කින් වැඩි වෙයි

පොහොර සහනාධාරය ඵල දරයි

වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 17 කින් වැඩි වෙයි

(Paddy harvest increased by 1.7 million tons)

පසුගිය වසර 6 ඇතුළතදී මෙරට වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 17 කින් වැඩිවී ඇති බවත් එම වකවානුවේ දී මෙරට සහල් නිපැයුම මෙට්‍රික් ටොන් ලක්ෂ 10.6 කින් වැඩිවී ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශ සංඛ්‍යාලේඛන අංශය පවසයි.
2004 දි මෙරට සමස්ත වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 2628000 කි. ඒ ප්‍රමාණය 2010 දි වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 4299000 දක්වා වැඩි විය. එම වැඩිවීම වසර හයට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 17 කට ආසන්නය. මීට අමතරව 2004 සිට 2010 දක්වා වසර හය ඇතුළතදි මෙරට සහල් නිපැයුමද මෙට්‍රික් ටොන් ලක්ෂ 10.6 කින් වැඩිවී තිබේ. 2004 දි මෙරට සහල් නිපැයුම මෙට්‍රික් ටොන් 1612080 කි. 2010 දි එම ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2681518 ක් වී තිබේ.

2004 දි මෙරට ස්වයංපෝෂිත දර්ශකය සියයට 88 කි. එය 2010 දි සියයට 114 ක් දක්වා ඉහළ නැග තිබේ. ස්වයංපෝෂිත දර්ශකය යනුවෙන් හඳුන්වන්නේ දේශීය සහල් නිපැයුම වාර්ෂික සහල් අවශ්‍යතාවට අනුව දක්වන ප්‍රතිශතයයි. මෙලෙස වී නිෂ්පාදනය වැඩිවීමට ප්‍රධාන හේතුව වූයේ රසායනික පොහොර, පොහොර සහනාධාරය යටතේ 2005 සිට අපේ ගොවි ජනතාවට සහනදායි ලෙස ලබාදීම බව කෘෂිකර්ම විද්‍යාඥ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ආචාර්ය හේමන්ත විජේවර්ධන මහතා පවසයි.

ඒ අනුව රජය වසරකට රුපියල් කෝටි 5000 ක පොහොර සහනාධාරයක් දැන් වී වලට හා අන් සියලු බෝගවලට ලබාදෙයි. මින් රුපියල් කෝටි 3500 ක් වී වලටද ඉතිරි කෝටි 1500 අනෙක් බෝග සඳහා ද වෙන් කර ඇතැයි වන ජීවි හා ගොවි ජන සේවා ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා පෙන්වා දෙයි. වී වලට යොදන පොහොර කිලෝ ග්රෑම් 50 බෑගයක් ලෝක වෙළෙඳ පොළේ රුපියල් 9000 ට අලෙවි වුවද අපේ ජනතාවට ඒ පොහොර රජය රුපියල් 350 බැගින් ලබා දුන් බවද චන්ද්‍රසේන ඇමැතිවරයා කියයි. මේ අනුව පසුගිය වසර 5 ඇතුළත අඩු ගණනේ රුපියල් කෝටි 20,000 කට අධික මුදලක් පොහොර සහනාධාරය ලෙස රජය වැය කර තිබේ.

No comments:

Post a Comment