Friday, December 2, 2011

දේවාල වැඳ පුදා ගැනීමට යන මුවාවෙන් යාල අභය භූමියේ නිධන් වස්‌තු හෑරීමේ ජාවාරමක්‌



කතරගම - කේ. ඩී. දේවප්‍රිය


යාල ජාතික වනඋද්‍යානය තුළ පිහිටි කැබිලිත්ත දේවාලය වැඳ පුදා ගැනීමට යන මුවාවෙන් ඇතැම් පිරිස්‌ අභය භූමියේ ඇති පෞරාණික (පැරණි) සිද්ධස්‌ථාන තුළ පවතින විහාර අඩි තාලම්, ගරා වැටුණු චෛත්‍ය ඇතුළු පුරා විද්‍යා අතින් වටිනා ස්‌ථාන නීති විරෝධී ලෙස කැනීම් කරන ජාවාරමක්‌ කලක සිට පැවතුනත් වගකිවයුත්තන්ගේ අවධානය මේ දක්‌වා යොමු වී නොමැත.


කතරගම දෙවියන්ට අයත් බවට සැලකෙන සියඹලා දේවාලය පුqද බිම යාල ජාතික වන උද්‍යානයටත්, කුමන ජාතික වනඋද්‍යානයටත් අතර කුඹුක්‌කන් ඔය ආශ්‍රිතව පිහිටා ඇත.


අතීතයේ සිට බැතිමතුන් මාස කිහිපයක්‌ පෙහේ වී මෙම පුද බිම වෙත පැමිණ පුද පූජාවන් තබා යැම සිරිතක්‌ වූ අතර පසුගිය යුද්ධය පැවති වසර 30 තුළ මෙම පළාතට කොටි ත්‍රස්‌තවාදීන් පැමිණීම මත ආරක්‍ෂක අංශ හැර කිසිවකු පැමිණ නොමැති අතර රටේ සාමය උදාවීමත් සමඟ විවිධ දානපතියන් ඇතුළු සමාජයේ බොහෝ පිරිසක්‌ නිතර යැමට ඒමට පටන් ගෙන ඇත. මෙම පිරිස්‌ අතර බැතිමතුන්ද විනෝදකාමීන්ද සිටින අතර නිධන් හොරුන් වන්දනා මාන කරන මුවාවෙන් මෙම ශුද්ධ වූ භූමියට පැමිණීම නිතර සිදු වන්නෙකි. මෙම පිරිස්‌ අතරින් ඇතැම් පිරිස්‌ යාල හා කුමන වනඋද්‍යානයට ඇතුළු වී අතීතයේ නිධන් හොරුන් විසින් හාරා ඉතුරු කර ඇති ස්‌ථාන හා ගල් කණු සහිත ඇති පුරා විද්‍යා වටිනාකමක්‌ පවතින ස්‌ථාන හාරා දමා ඇති අයුරු දැක ගත හැකිය. වනජීවී අවසරය ඇතිව යාල අංක 2 කලාපයෙන්ද, ගල්ගේ මුරපොළ අසලින් ද කුමන ජාතික වනඋද්‍යානය ඔස්‌සේද නීත්‍යනුකූලව මෙම කැබිලිත්ත ප්‍රදේශයට ඕනෑම අයකුට යැමට හැකි අතර කිසිදු අවසරයකින් තොරව මොණරාගල කොටියාගල මාර්ගය ඔස්‌සේද මේ වන විට මෙම ජාවාරම්කරුවන් බුරුතු පිටින් මෙම ප්‍රදේශයට ඇතුළු වන්නේ කිසිදු වනජීවි නිලධාරියකුගේ අවසරයක්‌ද නොගෙනය. මේ වන විට සති අන්ත නිවාඩු දිනයන් හිදී අති විශාල පිරිසක්‌ මෙම ප්‍රදේශයට යන අතර මෙම පිරිස්‌ රැගෙන යන පොලිතින් හා ප්ලාස්‌ටික්‌ ද්‍රව්‍ය වන උද්‍යානයේ මුදාහැරීම මත පරිසරයද දැඩි හානියකට ලක්‌ව පවතී.


මෙම කැබිලිත්ත සියඹලා දේවාලය ආසන්නයේ ඇති ඉපැරණි සිද්ධස්‌ථානයක්‌ වන යාල වෙහෙර දිවුලාන විහාරස්‌ථානය ද එහි තිබූ චෛත්‍ය තුනද කුලු ගෙඩි, ගල් බෝර ගසා විනාශ කර දමා පුරා වස්‌තු රැගෙන ගොස්‌ තිබේ. කැලයට ඇතුළු වී දර මිටියක්‌ කඩා ගත් අය පවා මේ වනජීවී නීති උල්ලංඝනය කරන බව පවසා අධිකරණයට යොමු කරන වනජීවී මහත්වරුන් මෙම බැතිමතුන් මුවාවෙන් වනයට අනවසරයෙන් එන පිරිසට නීති බලපාන්නේ නැද්දැයි ප්‍රශ්න කරති.

http://www.divaina.com/2011/12/02/provin01.html

No comments:

Post a Comment