Monday, June 27, 2011

Drugs and other Medical supplies

ඖෂධ සැපයීමේදී සිදුවන වංචා දූෂණ ගැන සමාව දීමට හෝ පසුබැසීමට සූදානම් නැහැ 
සෞඛ්‍ය ඇමැති 
හබරණ - හරිස්‌චන්ද්‍ර ගුණවර්ධන, පොළොන්නරුව - කරුණාරත්න ගමගේ සහ මින්නේරිය වාර්තාකරු 
රජයේ රෝහල්වලට ඖෂධ වර්ග සැපයීමේදී සිදුවන දුෂණ වංචා සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රමාදය, ප්‍රමිතියෙන් තොර ඖෂධ වර්ග ලබාදීම සහ ඖෂධ සැපයීමේදී සිදුවන දූෂණ වංචා නැති කිරීම සඳහා අත්‍යවශ්‍ය හා තොග වශයෙන් ලබාගන්නා ඖෂධ වර්ග මිලදී ගැනීමේ නව වැඩපිළිවෙළක්‌ සකස්‌ කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා හබරණ දී පැවසීය.

හබරණ ඡායා විලේඡ් හෝටල් ශ්‍රවණාගාරයේදී පැවැති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාවේ සැපයුම්කරුවන්ගේ සහ නියෝජිතයන්ගේ 14 වැනි සංවත්සර හමුවේදී ඇමැතිවරයා එසේ පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන මහතා තවදුරටත් මෙසේ කීය. "මම සෞඛ්‍ය ඇමැතිවෙලා අවුරුද්දයි. ගිය අවුරුද්දේ මුලදීම මම ඇමැතිකම බාරගත්ත කිට්‌ටුවම මේ සමුළුව පැවතුණා. ඒ වන විට මම දැනගෙන සිටිය කරුණු ඉදිරිපත් කළා. නමුත් මම ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් ඇතැම් ගැටලු පිළිබඳව සාර්ථක ප්‍රගතියක්‌ දකින්න පුළුවන්කමක්‌ නැහැ.

අද මම විශේෂයෙන් රෝගීන්ට බලපාන කරුණු තුනක්‌ ඉදිරිපත් කරනවා. පළමුවැනි කරුණ තමයි ප්‍රමිතිය පිළිබඳව සැලකිලිමත් වීම. දෙවැනි කරුණ නියමිත වේලාවට ඖෂධ සැපයීම. සමහර අය ටෙන්ඩර් අරගෙන අවුරුද්දක්‌ ගිහිල්ලත් බඩු නෑ. තුන්වැනි කරුණ ටෙන්ඩරයෙන් ලබා ගන්නා නියමිත ප්‍රමාණයම සපයන්නේ නැතිකම. එය විශාල ගැටලුවක්‌. ඖෂධ හිඟයක්‌ ඇතිවීමට හේතුවක්‌.

ඖෂධ සැපයීම පිළිබඳව සමාගම් තුළ මෙන්ම රජයේ ඇතැම් අංශ තුළත් දූෂණ වංචා සිද්ධවෙනවා. ඇතැම් නිලධාරීන් රජය පැත්තෙන් සම්බන්ධ බව පෙනී යනවා. මම ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගත්තා. කැබිනට්‌ මණ්‌ඩලය අනුමත කළ ඇතැම් ටෙන්ඩර් ඇමැතිවරයා විදිහට මම ප්‍රතික්‍ෂේප කළා. මෙය ඉතාම බරපතළ ප්‍රශ්නයක්‌. මේ කිසිම දේකදී සමාව දෙන්නවත් පසුබාන්නවත් ලෑස්‌ති නැහැ. ඊට විරුද්ධව ගත හැකි සෑම නීතිමය ක්‍රියාමාර්ගයක්‌ම ගන්නවා. මේ වැඩකටයුතුවල විනිවිද භාවයක්‌ තියෙන්න ඕනෑ.

ජනාධිපතිතුමා සමඟ පසුගිය සතියේ සාකච්ඡා කළා ටෙන්ඩර් ඇගයීම් කමිටු තුළ සිද්ධවෙන වැරැදි සම්බන්ධව. කැබිනට්‌ මණ්‌ඩලය පත්කළ ටෙන්ඩර් බෝඩ් එකත් නොමග යවන්නේ තාක්‍ෂණික ඇගයීම් කමිටුව. ඒ කමිටුවේ එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ ඉඳලා සමාගමකට අවශ්‍ය විදිහට කොන්දේසි හදලා ටෙන්ඩර් කැඳවපුවාම ටෙන්ඩරයට සමාගම් කීයක්‌ ආවත් එක ක්‌ලාක්‌ කෙනෙකුට පුළුවන් අදාළ සමාගමට ටෙන්ඩරය ලබාදෙන විදිහට කටයුතු කරන්න. මේ සඳහා අලුත් වැඩපිළිවෙළක්‌ අවශ්‍යයි කියලා මම යෝජනා කිහිපයක්‌ ඉදිරිපත් කළා. එය මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමගත් සාකච්ඡා කළා. ජනාධිපතිතුමා සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ සඳහා එකඟතාව පළ කරලා තියෙනවා. ඉදිරි මාස තුන ඇතුළත මම බලාපොරොත්තු වෙනවා ඒ අලුත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නට. මම බලාපොරොත්තු වෙන්නේ තොග වශයෙන් වාර්ෂිකව ගන්නා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ටෙන්ඩර් ක්‍රියාපටිපාටියෙන් බැහැරව ගැනීමේ වැඩපිළිවෙළක්‌.

මෙතන ඉන්නවා ඖෂධ සමාගම්වල දේශීය නියෝජිතයෝ. ප්‍රධාන වශයෙන්ම පෙනීයන කාරණයක්‌ තමයි විදේශ සමාගම් දෙකක්‌ තුනක්‌ සඳහා එකම දේශීය නියෝජිතයෙක්‌ පෙනී සිටීම. මේක එක පැත්තකින් යුක්‌ති සහගත නැහැ. සාධාරණ නැහැ. තවත් පැත්තකින් සදාචාරාත්මක බවක්‌ නැහැ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධයෙනුත් විමර්ශනයක්‌ කරලා අවශ්‍ය පියවර ගන්නට. එක නියෝජිතයකුට පුළුවන් එක විදේශීය සමාගමක්‌ වෙනුවෙන් පෙනී සිටින්න විතරයි. දෙක තුනකට පුළුවන්කමක්‌ නැහැ.

ඉන්දියාවෙන් තමයි අපි ඖෂධ විශාල ප්‍රමාණයක්‌ ගේන්නේ. ඒ වගේම මුළු ලෝකයේම නිෂ්පාදනය කරන ඖෂධ වර්ග අතරින් හොඳ ප්‍රමිතියෙන් යුත් ඖෂධ වර්ග ඉන්දියාවේ නිෂ්පාදනය කරනවා. මම බලාපොරොත්තු වෙනවා අගෝස්‌තු මාසයේ ඉන්දියාවේ සෞඛ්‍ය ඇමැතිවරයා, ඖෂධ සම්බන්ධ රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික ආයතන සමඟ මගේ නිලධාරීන් සමඟ ගිහිල්ලා සාකච්ඡා කරන්න ඖෂධ ලබාගැනීම සම්බන්ධව.

කලින් අවුරුදුවල බිලියන දොළහක දහතුනක තමයි ඖෂධ ලබා ගත්තේ. දැන් ප්‍රධාන රෝහල්වල බාහිර රෝගී අංශ රාත්‍රී අට දක්‌වා විවෘත කරන නිසා ඖෂධ වැඩිපුර අවශ්‍ය වෙනවා. ඒ නිසා බිලියන දාසයක ඖෂධ මිලදී ගන්නවා.

මෙම අවස්‌ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා ඇතුළු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්‌ථාවේ නිලධාරීහු හා ඖෂධ සැපයුම්කරුවෝ හා නියෝජිතයෝ ද සහභාගි වූහ.



Source: http://www.divaina.com/2011/06/27/news07.html

No comments:

Post a Comment