Saturday, June 18, 2011

Use of backhoes in gem mining

මැණික්‌ පතල් කැපීමට බැකෝ තහනම ඉවතට

රත්නපුර - ධර්මප්‍රිය ලියනආරච්චි

මැණික්‌ පතල් කැපීමේදී බැකෝ යන්ත්‍ර යොදා ගැනීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමට ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරිය තීරණය කර ඇත.

සමස්‌ත ලංකා මැණික්‌ වෙළෙඳුන්ගේ සහ පතල්කරුවන්ගේ මහා සංගමය සහ රත්නපුර දිස්‌ත්‍රික්‌ බැකෝ පතල් හිමියන්ගේ සංගමයත් ජාතික මැණික්‌ හා ස්‌වර්ණාභරණ අධිකාරියත් පළාතේ දේශපාලන අධිකාරියන් වෙත කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹි බව එම අධිකාරියේ රත්නපුර ප්‍රාදේශීය කළමනාකාර මුතුගල මහතා පැවැසුවේය.

තහනම ඉවත් කිරීමත් සමඟÊනව බලපත්‍ර නිකුත් කිරීමේදී අතුරු කොන්දේසි පැනවීමට කටයුතු කරන බවත්, එම කොන්දේසි ක්‍රියාත්මක වන්නේ දැයි නිරීක්‍ෂණය සඳහා විශේෂ පරීක්‍ෂණ නිලධාරි කණ්‌ඩායම් යෙදවීමටත් මැණික්‌ සහ ස්‌වර්ණාභරණ අධිකාරිය කටයුතු කරයි.

නව කොන්දේසිවලට අනුව බැකෝ යන්ත්‍ර යොදා පතල් කැපීමට බලපත්‍ර නිකුත් කරන්නේ අක්‌කර භාගයකට වැඩි ඉඩම් සඳහා පමණි.

වර්ග අඩි දහසක පතලයන් සඳහා රුපියල් ලක්‍ෂයක්‌ (රු. 100,000/}) ද ඉන් වැඩිවන හැම වර්ග අඩි 1000 කට ම අමතර රුපියල් 50,000/} බැගින් ද ඇප තැන්පතුවක්‌ තැබිය යුතු වේ. ඒ ඒ වර්ගීකරණයට අනුව බලපත්‍ර ගාස්‌තු වෙන් වෙන්ව ගෙවිය යුතුය.

එසේම පතල් කැපීම සඳහා සේවකයන් යොදවා ගත යුත්තේ ද කුලී පදනම මත නොව හවුල් බෙදීමේ පදනම මතය. එක්‌ මැණික්‌ පතලයක්‌ සඳහා එවැනි හවුල්කරුවන් පහක්‌ අවම වශයෙන් යොදාගත යුතු අතර ඒ එක්‌ එක්‌ හවුලක්‌ සඳහා දෙකයි දශම පහක (2.5%) ලාභයක්‌ ගෙවිය යුතුවේ. එය ගිවිසුමක්‌ හා දිවුරුම් ප්‍රකාශයක්‌ මගින් තහවුරු කළ යුතු වේ.

වර්ග අඩි 5000 කට වැඩි සෑම පතලක්‌ සඳහා ම පිළිගත් කැණිම් ඉංජිනේරු ආයතනයක උපදේශන සේවය ලබා ගැනීම අනිවාර්ය කෙරේ. එසේ උපදේශන ලබා දෙන ආයතනය ද තම සුදුසුකම් අධිකාරිය වෙත තහවුරු කළ යුතුව ඇත. එසේම එසේ අවසර ලබාගන්නා පතල්වල වැඩ කළයුතු වේලාව ද පෙරවරු 6.00 සිට පස්‌වරු 6.00 දක්‌වා පමණක්‌ සීමා කර ඇත. පතල් කැපීම නිමා කිරීමෙන් පසු එසේ පතල් කපන ලද බිම පෙර පැවැති තත්ත්වයට සකස්‌ කොට ගැලපෙන වගාවක්‌ ද කිරීමෙන් අනතුරුව පමණක්‌ ඇප මුදල් නිදහස්‌ කිරීමට කටයුතු කරනු ඇත.

මෙම නව කොන්දේසි යටතේ ඉදිරි සතිය ඇතුළත නැවත වරක්‌ බැකෝ යන්ත්‍ර යොදාගෙන මැණික්‌ පතල් කැපීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම ආරම්භ කරන බව ද ප්‍රාදේශීය කළමනාකාරවරයා පැවැසුවේය.



Source: http://www.divaina.com/2011/06/18/news19.html

No comments:

Post a Comment