කාසල්රී ජලාශයට දැවිතෙල් මුසුවී මත්ස්‍ය සම්පත විනාශයි
මධ්‍යම පරිසර අධිකාරියේ හා ජලජීවි වගා නිලධාරීන් කාසල් රී ජලාශය නිරීක්ෂණය කරමින්.
දැවිතෙල් ගලා ඒම නිසා මසුන් මැරී ජලය මත පාවෙමින් තිබෙන අයුරු
ඡායාරූප හා සටහන මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක
කාසල්රී ජලාශයට පසුගියදා තේ කර්මාන්ත ශාලාවක දැවි තෙල් තොගයක් මුදාහැරීම නිසා එම ජලාශයේ මත්ස්‍ය බිජු දහස් ගණනක් විනාශවීමෙන් ඉදිරි වසර දෙකක පමණ කාලයකට මත්ස්‍යයන්ගේ බෝවීමට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ජලජීවී වගා ව්‍යාපෘති නිලධාරී චන්දන ජයකුමාර මහතා පැවසීය.
කාසල් රී ජලාශයට දැවිතෙල් මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී. පී. ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් පරිදි පෙරේදා (09 දා) පස්වරුවේ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් හා ජලජීවී වගා නිලධාරීන් කාසල් රී ජලාශයේ කළ නිරීක්ෂණයකින් අනතුරුව චන්දන ජයකුමාර මහතා එසේ පැවසීය.
මධ්‍යම පරිසර අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් පරිසර නිලධාරී ආර්. එම්. කේ. බණ්ඩාර මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ,දැවිතෙල් මේ වන විට කාසල්රී ජලාශයේ අක්කර දෙකක පමණ වපසරියක ජලය මත පැතිරී ඇති බවත් ජලාශයේ බස්නාහිර ප්‍රදේශයෙන් හමන සුළඟත් සමඟ දැවි තෙල් ජලාශයේ නැගෙනහිර ප්‍රදේශයේ වෙරළ ආශ්‍රිතව ඝන තට්ටුවක් ලෙස තැන්පත් වී ඇති බවත් මෙම තත්ත්වය නිසා කාසල්රී ජලාශයේ දැවි තෙල් මිශ්‍ර ජලය කැලණි ගඟට මුසුවීමේ අවදානමක් ඇති බවත් කී ඒ මහතා දැවි තෙල් මුදාහළ අදාළ තේ වත්තේ පාලනාධිකාරියට එරෙහිව දැඩි නීති ක්‍රියාමාර්ග පරිසර නීති යටතේ ක්‍රියාත්මක කරන බවත්ය. දැවි තෙල් බලපෑම නිසා මේ වන විට කාසල්රී ජලාශයේ මසුන් සිය ගණනක් මියගොස් ජලය මතුපිට පාවෙමින් තිබෙන අයුරු දැකගත හැකිය.
මේ පිළිබඳව කාසල් රී ජලාශයේ ධීවර කර්මාන්තයේ නියෑළී සිටින ධීවර ප්‍රජාව පවසන්නේ, දැවිතෙල් ජලාශයට ගලා ඒම නිසා මත්ස්‍ය සම්පත විනාශවීමෙන් තමන්ගේ මත්ස්‍ය පලදාව පහත බැස ඇති බවය.
Source: http://www.divaina.com/2011/06/11/provin02.html
No comments:
Post a Comment