Monday, June 27, 2011

Closed hospitals to be opened

වසාතිබූ රෝහල් 77කට වෛද්‍යවරු-රෝගී සත්කාර සේවා

වෛද්‍යවරු හිඟකමින් මෙතෙක් වසා දමා තිබූ රෝහල් 77කට වෛද්‍යවරු ලබාදී රෝගී සත්කාරක සේවා ලබන මස සිට යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනියි.
ඒ අනුව දැනට වැසී ඇති උතුරුමැද පළාතේ රෝහල් 5ක්, මධ්‍යම පළාතේ 3ක්, වයඹ පළාතේ 5 ක්, නැඟෙනහිර පළාතේ 14ක්, උතුරු පළාතේ 46ක්, දකුණු පළාතේ 2ක්, ඌව පළාතේ 2 ක්, වන රෝහල්වලට වෛද්‍යවරු හැත්තෑහත් දෙනෙක් අනුයුක්ත කිරීමට පියවර ගැනීමෙන් මේ රෝහල් විවෘත කරන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය හා පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ අතර ඒකාබද්ධතාවෙන් ජනතාවට බලපාන සෞඛ්‍ය ගැටලු විසඳාලීමේ අරමුණෙන් නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ පැවැති පළාත් සෞඛ්‍ය ඇමැති සමුළුව අමතා ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේය. මධ්‍යම රජය යටතේ පාලනය වන රෝහල්වල මෙන්ම පළාත් සභා යටතේ පාලනය වන රෝහල්වල ද මානව සම්පත් හා භෞතික සම්පත් ඉහළ දැමීමෙන් ජනතාවට උසස් සෞඛ්‍ය සේවාවක් ලබාදීම රජයේ අරමුණ බව පැවසීය. ලබන මස වෛද්‍ය පත්වීම් ලබාදීමෙන් පසුව මේ රෝහල් විවෘත කරන බව ද කීය. හෙදියන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හා වෙනත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ලබාදීමේ දී ද ප්‍රමුඛත්වයක් පළාත් රෝහල්වලට ලබාදීමට කටයුතු යොදා ඇති බවත්, පළාත් සභාවලට අනුයුක්ත කරන එම නිලධාරීන් සාධාරණව තම රෝහල් අතර බෙදා හැරීම පළාත් සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමක් බවත් ඇමැතිවරයා දැනුම් දුන්නේය.
මේ පළාත් සෞඛ්‍ය ඇමැති සමුළුව පැවැත්වීමෙන් අනතුරුව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ හා මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ගැටලු අවබෝධ කර ගැනීමේ පහසු තත්ත්වයක් ද, ඒ සඳහා කඩිනමින් විසඳුම් ලබාදීමට ද, හැකියාව ලැබී ඇතැයි පළාත් සෞඛ්‍ය ඇමැතිවරු ප්‍රකාශ කළහ.
සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට හිමි බලතලවලින් කොටසක් පළාත් සෞඛ්‍ය ඇමැතිවරුන්ට ලිඛිතව පවරාදීම ගැන මෙහිදී පළාත් සෞඛ්‍ය ඇමැතිවරු අගය කළහ. මේ නිසා මධ්‍යම රජය යටතේ පාලනය වන රෝහල් පවා අධීක්ෂණය කිරීමේ හැකියාව තමන්ට ලැබී ඇති බවත් මධ්‍යම රජයත්, පළාත් සභාවත් සේවය ලබාදෙන්නේ රටේ ජනතාවට නිසා බෙදා වෙන් කිරීමක් අවශ්‍ය නොවන බවත් පළාත් සෞඛ්‍ය ඇමැතිවරු මෙහිදී කීහ.
සෞඛ්‍ය අතිරේක ලේකම් වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් මහත්වරු මේ අවස්ථාවට සහභාගි වූහ.

No comments:

Post a Comment