Monday, June 27, 2011

Fast to protect tank

තිසාවැව රැක ගැනීමට ඇරඹූ උපවාසයට බලධාරීන්ගෙන් තාමත් ප්‍රතිචාර නෑ
අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු

දිවයිනේ නන් දෙසින් අනුරාධපුර වන්දනාවේ පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත පිරිස්‌වල විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් ජල දූෂණයකට ලක්‌ව ඇති අනුරාධපුර තිසාවැව ආරක්‍ෂා කරදෙන ලෙසට බලකර සිටිමින් අනුරාධපුර, දේවානම්පියතිස්‌සපුර ප්‍රදේශයේ 57 හැවිරිදි පුද්ගලයකු විසින් ආරම්භකොට තිබෙන මාරාන්තික උපවාසයට අදට (27 දා) දින පහක්‌ ගතවී ඇතත් මේ දක්‌වා ඊට බලධාරීන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක්‌ ලැබී නැතැයි උපවාසකරු ඊයේ (26 දා) "දිවයින"ට පැවසීය.

තිසාවැව බැම්ම පාමුල ඉදිකරන ලද තාවකාලික ආවරණයක්‌ තුළ එච්. එම්. ජිනසේන නමැති අය මෙලෙස මාරාන්තික උපවාසයේ නිරතව සිටී.

ඉකුත් 22 වැනිදා සවස 6.00 ට ඔහු එම උපවාසය ආරම්භ කළේය.

තිසාවැව ප්‍රජා සත්කාරක හා ග්‍රාම සංවර්ධන සමිතිය, තිසාවැව සුරැකීමේ සංවිධානය, තිසාවැව ජල පාරිභෝගිකයන්ගේ සංගමය යන සංවිධානවල මෙහෙයවීමෙන් එම උපවාසය ක්‍රියාත්මක කෙරේ.

මේ අතර ඉල්ලීමට අද (27 දා) වන විට යහපත් විසඳුමක්‌ නොලැබුණහොත් තවත් පිරිසක්‌ මාරාන්තික උපවාසයකට එක්‌වීමට නියමිතව ඇති බවත්, බලධාරීන්ගේ අවධානය මේ පිළිබඳ යොමු කිරීම සඳහා අද දින තිසාවැව අසලදී මහා සංඝරත්නය පෙරටුකොට ගත් උද්ඝෝෂණයක්‌ පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇති බවත් තිසාවැව සුරැකීමේ සංවිධානයේ ප්‍රකාශකයෙක්‌ ප්‍රකාශ කළේය.

අති උතුම් ජයශ්‍රීමහා බෝ සමිඳුන් දෝවනය සඳහාත්, ජයශ්‍රීමහා බෝ සමිඳුන් අබියසදී වාර්ෂිකව පැවැත්වෙන පොසොන් සති පිරිත් පිංකම සඳහාත් පැන් ලෙස භාවිත කරන සහ අනුරාධපුර සිද්ධස්‌ථාන වැඳපුදා ගැනීමට පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ පානීය ජල අවශ්‍යතාවන් සපුරාලන ප්‍රධාන ජල මූලාශ්‍රය වන තිසාවැව තුළ මේ වන විට නිරන්තයෙන් සිදුවන ආහාර පිසීම, ආහාර අනුභවය, මත්පැන් පානය කිරීම, දියනෑම, ශැම්පු වර්ගවල හා සබන්වල දවටන දමා යැම, කාන්තාවන්ගේ සනීපාරක්‍ෂක ඇඳුම් අක්‍රමවත්ව ඉවත් කිරීම, මළ මුත්‍රා කිරීම හා වාහන සේදීමෙන් එහි ජලය බරපතළ ලෙස දූෂණයට ලක්‌ව ඇති බව පෙන්වා දෙන එම ප්‍රකාශකයා මේ පිළිබඳ අදාළ බලධාරීන්ගේ අවධානය මෙතෙක්‌ යොමු නොවීම කනගාටුවට කරුණක්‌ බවද කීය.



Source: http://www.divaina.com/2011/06/27/news08.html

No comments:

Post a Comment