ආනයනික කෘෂි රසායන මෙරටදී
කිසිදු පරීක්ෂණයකට ලක් කරන්නේ නැහැ
පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයා කියයි
වෛද්‍ය ජයසුමනට මාධ්‍ය සාකච්ඡාවේ දොර වැසේ
සමන් ගමගේ
විවිධ සමාගම් විසින් ගෙන්වනු ලබන කෘෂි රසායන ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කිරීමේදී මෙරට තුළදී කිසිදු විද්‍යාත්මක පරීක්ෂණයකට ලක් නොකරන බව පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් ජනරාල් අනුර විඡේසේකර මහතා පැවැසීය.
අදාළ ලියාපදිංචි කිරීම් සිදු කෙරෙනුයේ ජාත්‍යන්තර ප්‍රමිති සහතික පදනම් කරගනිමින් බවද ඒ මහතා අවධාරණය කළේය. මෙරට භාවිත කෙරෙන කෘෂි රසායන වල ආසනික් හා රසදිය වැනි මාරාන්තික විෂ අඩංගු බවට විද්වත් පිරිසක් කළ හෙළිදරව්වකින් පසු ඒ පිළිබඳ පර්යේෂණයක් සිදුකරමින් මාධ්‍යයට කරුණු පැහැදිලි කිරීම සඳහා කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (13 දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.
මෙරට වගාවන්ට හානිකර කෘමීන් හෝ වල් පැළෑටි හඳුනා ගැනීමෙන් පසු විද්වත් නිර්දේශ මත ආනයනය කෙරෙන කෘෂි රසායනයන් ක්ෂේත්රයේ භාවිත කර ප්‍රගතිය පරීක්ෂා කර බලා ප්‍රතිඵල ඇත්නම් අදාළ සමාගම් මගින් ඒවා ලබාගැනීම සඳහා ජාත්‍යන්තර ප්රමිතීන් මත එකී කෘෂි රසායන මෙරට ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ක්‍රමවේදය බවද අනුර විඡේසේකර මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මේ අතර මෙම මාධ්‍ය හමුව පැවැත්වෙන අතරේ මෙරට කෘෂි රසායනවල උග්‍ර විෂ සහිත ආසනික් අඩංගුව තිබෙන බවට සොයාගත් විද්වත් මණ්ඩලයේ සාමාජිකයකු වන වෛද්‍ය චන්න ජයසුමන මහතා ඊට සහභාගි වීම සඳහා පැමිණ ඇතත් ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් ඔහුට සහභාගි වීමට ඉඩ දී නොමැත.
මේ අනුව එම මාධ්‍ය හමුවේදී කෘෂිකර්ම ඇමැතිවරයා හා ඊට සහභාගි වූ සෙසු අය ඉදිරිපත් කළ කරුණුවලට පිළිතුරක් ලබා දීමට සූදානම් වූ අවස්ථාවේදී තමන්ව ඇමැති ආරක්ෂකයන් විසින් එම ස්ථානයෙන් ඉවත් කළ බව වෛද්‍ය චන්න ජයසුමන මහතා "දිවයින"ට පැවැසීය.
Source: http://www.divaina.com/2011/06/15/news11.html
No comments:
Post a Comment