Sunday, October 23, 2011

ආයතන ප්‍රධානීන් - විදුහල්පතිවරුන්-රාජ්‍ය නිලධාරීන්-පොලිස් නිලධාරීන් ගේ හදිසි ධනවත්වීම සැක සහිත නම් නිර්නාමිකව හෝ පැමිණිලි කළ හැකියි

සුභාෂිණී ජයරත්න

රජයේ නිලධාරීන්, ආයතන ප්‍රධානීන්, විදුහල්පතිවරුන් මෙන්ම ඕනෑම රාජ්‍ය සේවකයකු විශ්වාස කළ නොහැකි ආකාරයෙන් දේපළ, ධනය රැස්කරගෙන තිබේ නම් ඒ පිළිබඳව තොරතුරු සහිතව නිර්නාමිකව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට පැමිණිලි කළ හැකි යැයි අල්ලස් හෝ දූෂණ වැළැක්වීමේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ලක්ෂ්මී ජයවික්‍රම මහත්මිය ‘සිළුමිණ’ට පැවසුවාය.

වත්කම් නඩු යටතට ගැනෙන මේ පැමිණිලි පැය 24 පුරාම ක්‍රියාත්මක වන ක්ෂණික දුරකතන අංක 1954 ඔස්සේ හෝ ලිඛිතව දැන්විය හැකි අතර ඒ තොරතුරුවලට අනුව විමර්ශන කටයුතු ආරම්භ කිරීමට කොමිසම් සභාව කටයුතු කරයි.

2011 මැයි මස 16 දා සිට මේ දක්වා පාසල්වලට දරුවන් ඇතුළත් කරගැනීමේ පැමිණිලි 226ක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට වාර්තා වී ඇත. අල්ලස් ගැනීමේ වරදට හසුවන අය අධ්‍යක්ෂ ජෙනරාල්ගේ අවසරය ඇතිව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කැරෙන අතර නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබේ.

රුපියල් 2000 වැඩි වටිනාකමින් යුත් අල්ලස් ලබාගැනීම් කොළඹ මහාධිකරණයට හා රුපියල් 2000ට අඩු වටිනාකමින් යුතු අල්ලස් ලබාගැනීම් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙනුත් විභාග කිරීමට යොමු කැරේ. මේ චෝදනාවලට වැරැදිකරුවන් වන අයට රුපියල් 5000 හෝ / සහ අවුරුදු 7ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කැරේ.

70 වැනි වගන්තිය යටතේ පාසල්වලට දරුවන් ඇතුළත් කර ගැනීමේදී යමකුට අයුතු ලෙස වාසි ගෙන දෙන හා තවත් අයකුට අවාසිදායක ලෙස තීරණයක් ගෙන තිබේ නම් ඔහු හෝ ඇය දූෂණ චෝදනා යටතේ වරදකරු වන අතර අදාළ විමර්ශනවලින් අනතුරුව අධ්‍යාපන අමාත්‍යාංශයේ සහය ඇතුව එම දරුවන්ට පාසල් ලබාදීමට ද කොමිසම් සභාව කටයුතු කරනු ඇත.

සාධාරණ අවශ්‍යතාවකට අනුව වුවද විදුහල්පතිවරු මුදල් ලබා ගත යුත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව බව අධ්‍යක්ෂ ජෙනරාල්වරිය අවධාරණය කරයි. එසේ නොමැතිව මුදල් හෝ වෙනත් දෙයක් ගැනීම, ඉල්ලීම හෝ ලබාදීම අල්ලස් චෝදනා යටතේ වරදක් වෙයි.

http://www.silumina.lk/2011/10/23/_art.asp?fn=aa1110231

No comments:

Post a Comment